Thursday, May 16, 2024

General line - 0115112241

මීළග තරග ජය ගන්නා සැලසුම දිමුත් කියයි

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉදිරි තරග තුනේදී තරගයෙන් තරගයට සැලසුම් කි‍්‍රයාත්මක කරමින් එම තරග ජය ගැනීමට අපේක්‍ෂා කරන බව ශී‍්‍ර ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසනවා. සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ ලද ජයග‍්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

ඇන්ජලෝ මැතිව්ස් ඊයේ තරගයේදී නොදැවී ලකුණු 85 ක් රැස් කළේ මන්දගාමී පිතිහරඹයක නිරත වෙමින්. ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන්ද නායක දිමුත් කරුණාරත්න මෙහිදී අදහස් පළ කළා.

යොවුන් කී‍්‍රඩක අවිශ්ක ප‍්‍රනාන්දු ඊයේ තරගයේදී එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව කී‍්‍රඩා කළ විලාශය විශිෂ්ඨ බවද ඔහු මෙහිදී සදහන් කළා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ ලද මෙම ජයග‍්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා පැමිණීමට සමත් වුණා. ඒ, ප‍්‍රසාද ලකුණු 6 ක් ලබාගනිමින්.

මේ අතර ශි‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ එංගලන්තයට එරෙහිව ලද ජයග‍්‍රහණයට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද සිය ට්විටර් ගිණුම හරහා සුබ පැතුම් එක් කර තිබෙනවා. මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන මීළග තරගය ලබන 28 වනදා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව චෙස්ටර්ලීහිදී පැවැත්වීමට නියමිතයි.