Monday, May 6, 2024

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිති අද මැදියම් රැයේ සිට වර්ජනයකට සැරසෙයි

නිශාන් ද සිල්වා/දිල්ශාන් තුෂාර/ලහිරු කපුගේ




දුම්රිය වෘත්තීය සමිති 80කට අධික සංඛ්‍යාවක් අද  මධ්‍යම  රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, දුම්රිය සාමන්‍යාධිකාරීවරයාට ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විසින් සිදු කරනු ලැබූ බව කියන බලපෑම්වලට විරෝධය පළ කරමින්. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේගෙන් විමසීමක් කළා. 
 

රාජකාරි කාලය තුළදී බීමත්ව සිටි දුම්රිය වෘත්තීය සමිතියක ලේකම්වරයෙකුගේ වැඩ තහනම් කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට නිර්දේශ කර තිබෙනවා. අදාළ පුද්ගලයා වෘත්තීය සමිතියක ලේකම්වරයෙකු බැවින් ඔහුගේ වැඩ තහනම් කිරීමේ බලය ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයාටයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු සිය නිර්දේශය මගින් දන්වා ඇත්තේ අදාළ පුද්ගලයාගේ වැඩ තහනම් නොකරන්නේ නම් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. කෙසේවෙතත් අදාළ සේවකයා නැවත සේවයේ පිහිටුවීමට ප‍්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් කර ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති ප‍්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සදහා නෙත් නිවුස් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක දී උත්සහ දැරුවද ඔහු දුරකතනයට ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ. 

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා පළ වුණා. එම වාර්තාවල දැක්වුනේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාට භාරදී ඇති බවයි. කෙසේවෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නැතැයි නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය තහවුරු කළා.