Sunday, May 5, 2024

General line - 0115112241

කැඳවීමට කීකරු නොවුනහොත් විශේෂ කාරක සභාවෙන් දයාසිරිට එරෙහිව පියවර

සජිත් තිලකරත්න




පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවට මීලග දිනයේදී ද නොපැමිණිය හොත්, ඒ සම්බන්ධයෙන් එදින තීරණයක් ගන්නා බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසනවා. එම කාරක සභාව යළි රැස්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 10වනදායි. 

මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර කාරක සභාව හමුවට කැඳවා තිබුණ ද, ඔහු කාරක සභාව හමුවේ පෙනී සිටියේ නැහැ.  ඕනෑම පුද්ගලයෙකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ බලයක් පවතින බවත්, එලෙස කැඳවන අයෙකු නොපැමිණිය හොත් ගත හැකි කි‍්‍රයාමාර්ගයන් ඇති බවත්, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිිටියා. 

මේ අතර ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා කාරක සභාවට කැඳවීමට නියමිත බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් නියෝජ්‍ය කතානායකවරයාගෙන් විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවයි. 

එළඹෙන 10වනදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නේදැයි නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකරගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් එළඹෙන 09වනදා පාර්ලිමේන්තුවේදී ඇතිවන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් තමන් තීරණයක් ගන්නා බවයි.