Monday, May 6, 2024

General line - 0115112241

නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹේ

කසුන් කැලුම්




15 වන නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල් හිදි අද (12) ආරම්භ වනවා. කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ එහිදී තරග වදිනු ඇති.ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමද මෙම තරගාවලියට එක්ව සිටිනවා. ඒ චතුරංගි ජයසූරියගේ නායකත්වය යටතේයි. ශ්‍රී ලංකාව වත්මන් ආසියානු නෙට්බෝල් ශූරියන් ද වනවා. ශ්‍රී ලංකාව කණ්ඩායමක් ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියකට එක්වන දස වන අවස්ථාව මෙයයි. 

1963 වසරේදී 10 වන ස්ථානය දිනා ගැනීම නෙට්බෝල් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් දැක් වූ ඉහළ දක්ෂතාව වනවා. 2015 වසරේ අවසන් වරට පැවැති නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට 16 වන ස්ථානය හිමි වුණා. 
අවසන් වරට පැවති නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලි තුනෙහිම ශූරියන් බවට පත් වූයේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් මේ දක්වා දිනා ඇති නෙට්බෝල් ලෝක කුසලාන සංඛ්‍යාව 11ක්. නවසීලන්තය අවස්ථා 4කදී නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගෙන ඇති අතර ටි්‍රනිඩෑඞ් හා ටොබැගෝ රාජ්‍ය එක් වරක් නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙවර නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලයේදී චතුරංගි ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ ඒ කාණ්ඩයෙන්. එම කාණ්ඩයට වත්මන් නෙට්බෝල් ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියාව ද, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ද ඇතුලත්. කෙසේවෙතත්, විශ්වාසයෙන් යුතුව මෙම තරගාවලියට එක්වන බව ශ්‍රි ලංකා නායිකා චතුරංගි ජයසූරිය නෙත් ස්පෝට්ස්මන් වෙත පැවසුවා. 

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගි වන පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 4ට පමණ ආරම්භ වීමට නියමිතයි.