Sunday, May 5, 2024

General line - 0115112241

ප්‍රධාන ජේලර්වරයා ඝාතනයට නිලධාරියෙකු සම්බන්ධ දැයි සොයයි

නිශාන් ද සිල්වා




වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ කොළඹ බන්ධනාගාර පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වෙඩි තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සම්බන්ධ දැයි සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවද පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට නියමිතයි.

ජීවිතක්‍ෂයට පත් වූ ප‍්‍රධාන ජේලර්වරයා කලක් ගාල්ල බන්ධනාගාරයේ ද රාජකාරී සිදුකර තිබෙනවා. එහිදී ඔහුට මරණ තර්ජන තිබූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මීටියාගොඩ ප‍්‍රදේශයේදී ඉකුත් වසරේ සිදුකළ වැටලීමකදී හෙරොයින් පැකට් කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය බන්ධනාගාර ප‍්‍රධාන ජේලර්වරයාද එම ස්ථානයේ සිටි බවයි අනාවරණ වුණේ.

ඒ අනුව ඔහු වැඩතහනමකටද ලක් වූ අතර පසුව කොළඹ බන්ධනාගාර පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයා ලෙස යළි සේවයට පත් කෙරුණා. ඊයේ දිනයේ රාජකාරී නිම කර සිය නිවස කරා යමින් සිටියදී ප‍්‍රධාන ජේලර්වරයා වෙඩි ප‍්‍රහාරයට ලක්වන්නේ අම්බලන්ගොඩ කුලීගොඩ ප‍්‍රදේශයේදීයි.

බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පොඩි ලැසීගෙන්, ජීවිතක්‍ෂයට පත්වූ ප‍්‍රධාන ජේලර්වරයාට මරණ තර්ජන තිබූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.