Tuesday, April 30, 2024

General line - 0115112241

සහය ගෝඨාභයට දෙන්න පොහොට්ටුවේ කාන්තාවෝ කොළඹට රැස්වෙති

සිතාරා අතුකෝරල




කාන්තාවන්ගේ සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට පළ  කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංසදය ලබන 31වනදා කොළඹදී රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංසදයේ පළමු ජාතික සම්මේලනය ද මෙයයි. කාන්තාවන් මුහුණදී සිටින ගැටළු මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරෙන බවද මන්ත්‍රීවරිය පැවසුවා. 

මෙවර ජනාධිපතිවරණයේදී කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ගේ ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ලබාදෙනු ඇතැයි තමන් තදින්ම විශ්වාස කරන බවද පවිත්‍රා වන්නිආරචිචි මන්ත්‍රීවරිය මෙහිදී කියා සිටියා. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි සභාපති, මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ අධිකරණ ක්‍රමයට හානි කළ තැනැත්තන්ට එරෙහිව සිය පාලනයක් යටතේ නඩු පවරන බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා. ඒ, ද්වේශ සහගතව ප්‍රකාශ සිදු නොකර සංසුන්ව කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් ද කරමින්.