Saturday, May 4, 2024

General line - 0115112241

පලෙයි වෛද්‍යවරයා ගෝඨාභය ඝාතන තැතක් හෙළි කල බව කියන පුවත අසත්‍යක් - පොලිසිය කියයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබද අත්අඩංගුවේ සිටින වෛද්‍ය සින්නයියා සිවරූබන් පාපොච්ජාරණයක් කර ඇතැයි ඇතැම් මාධ්‍යන්හි පල වු වාර්තා සත්‍යයෙන් තොර බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ සින්නයියා සිවරූබන් පොලිසිය වෙත හෝ වෙනත් කිසිදු බලධාරියෙකු වෙත එවැනි පාපොච්ජාරණයක් කර නොමැති බවයි. 

වෛද්‍ය සින්නයියා සිවරූබන් යාපනය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වනවා. ත‍්‍රස්ත චෝදනා වලට සැකපිට ඔහු අත්අඩංගුවට ගැනුනේ ඉකුත් 18 වනදායි. මෙම වෛද්‍යවරයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී හෙලි වු කරුණු අනුව ගිණි අවි, අත්බෝම්බ සහ තවත් පුපුරණත් ද්‍රව්‍යද ස්ථාන කිහිපයකින් සොයා ගැණුනා.

ඔහුගෙන් වැඩිදුරටත් හෙළි වු කරුණු අනුව වරින් වර තවත් පුද්ගලයින් 06දෙනෙකු ද ත‍්‍රස්ත චෝදනා වලට සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

සින්නමනී තනේෂ්වරන්, ඉරත්තිනම් කි‍්‍රෂ්ණරාසා, මෝහනසුන්දරම් සින්න්තුරේ සහ විනයාගමූර්ති නෙජිලන් මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර වනවා. 
ටී  නිමල රාජ් සහ රූබන් ජතුසන් අත්අඩංගුවට ගෙන සිටින අනෙක් දෙදෙනායි. ඔවුන්ගෙන් කිසිවෙකුද පොලිසිය වෙත හෝ වෙනත් කිසිදු බලධාරියෙකු වෙත මෙතෙක් පාපොච්ජාරණයක් කර නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා.

වෛද්‍ය සින්නයියා සිවරූබන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබ`ද හෙලි කර ඇතැයි කියන පුවත සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිසියෙන් ඊයේ උදෑසනද විමසීමක් කලා. එහෙත් මෙම පුවත සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉහත නිල නිවේදනය නිකුත් කළේ අද පස්වරුවේයි.