Sunday, May 5, 2024

General line - 0115112241

කලු සහ ගිං ගංගාවන්හි ජල මට්ටම ඉහලට - ප්‍රවේශමෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

ඩිල්ෂාන් මඩවල




කලූ සහ ගිං යන ගංගා වල ඇතැම් ධාරා ප‍්‍රදේශයන්හි පහත් බිම්වල ජීවත්වන්නන් තවදුරටත් එම ගංගාවන්හී ජල මට්ටම පිළිබඳ විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කලූ ගගේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් ද, ගිං ගගේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයෙන් ද, ඉහළ ගොස් තිබෙන බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ. 

අද පෙරවරු 08 යි 30 වනවිට කැළණිගගේ ජල මට්ටම ද කිතුල්ගල සහ දැරණියගල ප‍්‍රදේශවලින් ද පිටාර මට්ටමට ආසන්න වී තිබුණා. එහෙත්, මේවනවිට එහි ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. 

ඇදහැලෙන වැසි හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බලාගාර ආශ‍්‍රිත ජලාශ කිහිපයක ද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. එහි වැඩිදුර තොරතුරු නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂගෙන්. 

මේ අතර රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශවල මෙන්ම දකුණ සහ උතුරු මැද යන පළාත්වලත්, රත්නපුර, කලූතර සහ තී‍්‍රකුණාමලය යන දිස්ති‍්‍රක්කවලත්, මධ්‍යම කඳුකරයේත් තවදුරටත් වරින්වර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ක් පමණ දක්වා ද වැඩිවිය හැකියි. 

බස්නාහිර  සහ සබරගමුව යන පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසිද අපේක්ෂා කෙරෙනවා. අකුණු අනතුරු වළක්වා ගැනීමට ද විමලිසිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.