Sunday, May 5, 2024

General line - 0115112241

අකුරැස්සේදි පොලීසියට වෙඩි තැබූ පුද්ගලයන් සොයා පරීක්ෂණ

ලහිරු කපුගේ




අකුරැස්ස, තිබ්බටුවාව හංදිය ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා පළා ගිය පුද්ගලයින් 03දෙනා සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මාතර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඒ සඳහා පොලිස් කණ්ඩායම් 02 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

ඊයේ රාති‍්‍රයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අකුරැස්ස පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. එම නිලධාරීන් දෙදෙනා යතුරු පැදියකින් රාති‍්‍ර මුර සංචාරයේ යෙදී සිටි අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් තිදෙනෙකු රැගත් යතුරු පැදියක් නවත්වන ලෙස අණකර ඇති අතර පසුව එම යතුරු පැදිය අණ නොතකා ධාවනය කර තිබෙනවා. 

අනතුරුව එම පොලිස් නිලධාරීන් දෙදෙනා ද අදාළ යතුරු පැදිය ලූහුබැඳ ඇති අතර එම යතුරු පැදියේ මැද සිටි පුද්ගලයා පොලිස් නිලධාරීන් දෙදෙනාට මෙලෙස වෙඩි තබා ඇති  බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පාදවලට තුවාල සිදුව තිබෙනවා. 

ඔවුන් දෙදෙනා අකුරැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරු කර යැවුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් ද ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.