Saturday, April 27, 2024

General line - 0115112241

ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ගැටළුව මැද දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරයෙක් පිල්ලයාර් කෝවිලේ සංචාරයක

මාධව කුලසූරිය -වවුනියාව




මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානය වෙත ගෙන ඒම ‍සම්බන්ධයෙන් වන ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් අද (22) කෝවිලේ සංචාරයක නිරතව තිබෙනවා.

සංචාරයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් පැවසුවේ විහාරස්ථාන භූමියේ පවතින නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිලේ පාලක සභාව විසින් සිදුකළ ඉල්ලීම්ක් අනුව තමන් කෝවිල් පරිශ්‍රයේ සංචාරයකට එක්වූ බවයි.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් මහරගම අපේක්ෂා රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත්  20 වෙනිදා රාත්‍රියේ අපවත්වුහ.

නාහිමියන්ගේ දේහය විහාරස්ථානය වෙත රැගෙන ඒමට විරුද්ධව විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පාලක සභාව මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද (22) උදැසන විහාරාධිකාරි පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන් වෙත හා විහාරස්ථාන දායක සභාව වෙත අධිකරණ නියෝගයක් යොමු කර තිබුණා.

අදාළ නියෝගය මගින් දැනුම් දි ඇත්තේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය ලැබෙන තෙක් විහාරාධිපති නාහිමියන්ගේ දේහය ආදාහනය නොකළ යුතු අතර, විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිළධාරීන්ට හෙට (23) උදැසන 9.00 ට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

විහාරස්ථානයේ හා විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ දායක පිරිස් වෙනුවෙන් ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුකිරීමට අවසරයක් නොමැති වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවද අධිකරණ නියෝගයෙන් දැනුම් දි තිබුණා.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ නිරාවිය පිල්යාර් කෝවිල නමැති කෝවිලක් ඇති කිරීමට පසුගිය සමයේ දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත පිරිසක් කටයුතු කළ අතර, ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය පැවති ස්ථානය දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබුනා.

අදාළ නඩු විභාගය අනතුරුව වවුනියාව මහාධිකරණය දක්වා මාරුකරනු ලැබුවා. වර්තමානයේදී විහාර භූමියේ පවතින කෝවිල සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ නඩුවක් ‍ගොනු කොට ඇත.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය ආදාහනය කර ගැනීමට ඇතිව තිබෙන ගැටළුව හේතුවෙන් දායක සභාව හා තමන් වහන්සේද මහත් අසරණ වි ඇති බව විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන්ද පැවසුවා.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් විහාරාධිපති නාහිමියන් වෙනුවෙන් පසුගිය සමයේ විවිධ බලපෑම් එල්ල කළ බවද නයාරු ප්‍රදේශවාසින් ප්‍රකාශ කර සිටියා.

නාහිමියන්ගේ ආදාහන උත්සවය හෙට (23) නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට දායක සභාව කලින් සැළසුම් කොට තිබුණා.

මේ අතර දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා නියෝජිතයින් හා පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක්ද විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ කටයුතු සොයා බැලීම වෙනුවෙන් අද එක්ව සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.