Saturday, May 4, 2024

General line - 0115112241

ලින්ක් නැචුරල් සමාගම අති නවීන තාක්ෂණයෙන් සපිරි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කරයි




සමහන් හා සුදන්ත වැනි ජනප්‍රිය නිෂ්පාදන හඳුන්වා දුන් ලින්ක් නැචුරල් සමාගම තවත් දැවැන්ත ඉදිරි පියවරක් තබමින් ලොව අති නවීන තාක්‍ෂණයෙන් සහ නූතන පහසුකම් වලින් පරිපූර්ණ වූ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් පසු දින විවෘත කරන ලදී.
 
මෙම අති නවීන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මූලික මෙන්ම ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ගණයේ විශ්ලේෂණ කටයුතු සදහා අවශ්‍ය නවීන උපකරණයන්ගෙන් සහ රසායනාගාර පහසුකම් වලින් සමන්විතයි. එසේම අත්දැකීම් සහිත පුහුණු වූ දක්ෂ විද්‍යාඥයන්ගෙන් මෙන්ම උපදේශකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්ද මෙහි පිරිස් බලය සන්නද්ධ වෙයි. මෙම නවතම පර්යේෂණාගාරයේ වැඩ කටයුතු ආරම්භ වීමත් සමඟ ලින්ක් නැචුරල් සමාගමට පුරෝගාමී පර්යේෂණ සිදුකිරීම සඳහා පුළුල් ඉඩකඩක් ලැබෙන අතර එමගින් ජාත්‍යන්තර වෙළඳපොල ජයගත හැකි නව්‍ය නිෂ්පාදන හදුන්වාදීමට ද හැකියාව ලැබෙනු ඇත. ඒ තුළින් ලින්ක් නැචුරල් සමාගම සොබාදහම පදනම් කරගත් සෞඛ්‍ය හා සුව සත්කාර නිෂ්පාදනවල දියුණුව ලංකාවේ මෙතෙක් නොවූ තරමේ අසමසම මට්ටමකට රැගෙන ඒමට දැන් සුදානම්ය.

ලොව පුරා සොබාදහම පදනම් කරගත් සෞඛ්‍ය හා සුව සත්කාර ප්‍රතිකර්ම පිළිබද දැඩි උනන්දුවක් පවතී. නමුත් ස්වභාව ධර්මයාගේ දායාද ලෙස ලැබෙන ප්‍රතිකර්ම බොහොමයක් තවමත් සොයාගෙන නැති අතර බහුතර ජනතාව අතරින් ඒවා ඈත්ව ද පවතී.ආයුර්වේද දර්ශනයේ විස්කම් සහ අනෙකුත් සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේදයන්, නූතන විද්‍යාව හා තාක්ෂණය සමඟ මුසුකොට සොබාදහමේ ප්‍රතිකර්ම සඳහා නව දොරටු විවර කරමින් නව මානයන් සොයායෑම තුළින් ආරක්‍ෂාකාරී මෙන්ම ඵලදායි සෞඛ්‍ය හා සුව සත්කාර විසඳුම් සොයාගැනීමත් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මූලික අරමුණු අතර වෙයි.

ලින්ක් නැචුරල් සමාගමේ ප්‍රාරම්භක, සභාපති/ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය දේවප්‍රිය නුගවෙල මහතා මෙසේ පවසන ලදී. "නව නිපැයුම් සහ සොයාගැනීම් වලට අමතරව එක් එක් රටවල අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි නිසි නියාමන තත්ත්වයන් පවත්වා ගනිමින් සොබාදහම පදනම් කරගත් විසඳුම් සංවර්ධනය කිරීමත්, නිරතුරුවම සංයෝජනයන්හි ඵලදායි බව සහ ආරක්‍ෂිත බව සුරැකෙන පරිදි නිමි නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමත් අත්‍යාවශ්‍ය කරුණකි. එමෙන්ම යම්කිසි නිෂ්පාදනයක් කියාපාන ගුණාගුණයන්ද නිසි විද්‍යාත්මක තහවුරු කිරීමකින් යුක්ත විය යුතුය. එම තහවුරු කිරීම් සඳහා අවශ්‍ය අනුමැතීන් සහ සහතික කිරීම් ලබාගැනීමට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්‍යාත්මක පර්යේෂණ විධික්‍රම සහ විධිමත් නිගමනයන් අනුගමනය කර තිබීම අත්‍යාවශ්‍යය. නව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය බිහිවීමත් සමඟ ලින්ක් නැචුරල් සමාගමේ නිෂ්පාදනයන්ට මෙම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමටත්, සංවර්ධනය කරගැනීමටත් මෙන්ම නව සහ වඩා දියුණු සොබාදහම පදනම් කරගත් සෞඛ්‍ය හා සුව සත්කාර විසඳුම් ඉදිරිපත් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. ඒ තුළින් සොබාදහම මත පදනම් වූ සෞඛ්‍ය හා සුව සත්කාර නිෂ්පාදනයන් නිෂ්පාදනය කරන ආයතන අතර ජාත්‍යන්තර වශයෙන් ලින්ක් නැචුරල් ආයතනය ප්‍රමුඛතම තරඟකාරී ආයතනයක් වනු ඇත.”

මෙම මධ්‍යස්ථානය සතුව ඇති සම්පත් සහ හැකියාවන් භාවිත කිරීම මඟින් තත්ත්වයෙන් ඉහළ නිවැරදි අමුද්‍රව්‍ය පමණක් නිෂ්පාදන ක්‍රියාවලියට භාවිත කරන බවට තහවුරු කිරීමට අවශ්‍ය දැනුම් සහ දත්තයන් උත්පාදනය කිරීමට හැකිවන අතර ලින්ක් නිෂ්පාදනයන් ආරක්ෂාවට සහ ගුණාත්මකභාවයට අදාළව ඉහළම තත්ත්ව සහතිකයන් සපුරන බවටද තහවුරු කරගත හැක. එමෙන්ම මෙම මධ්‍යස්ථානය අංගසම්පූර්ණ උපකරණ සහිත නියමු නිෂ්පාදනාගාරයකින් සමන්විත වන අතර එය වෙළඳපොල සඳහා ඉදිරිපත් කරන නිෂ්පාදනයක් සංවර්ධනය කිරීමේ අවධියේ සිට වෙළඳපොලට නිකුත්කිරීමේ අවධිය දක්වා අවශ්‍ය සියලුම පියවරයන් කිරීමට අවශ්‍ය පහසුකම් සපයයි.

ලින්ක් නැචුරල් පර්යේෂණ මධ්‍යස්ථානය අංග සම්පුර්ණ පුස්තකාලයකින් සහ ශ්‍රවනාගාරයකින් ද සමන්විත වන්නේ පර්යේෂකයන්ට, විද්‍යාඥයන්ට සහ ශාස්ත්‍රය හදාරන්නන්ට තම දැනුම වර්ධනය කර ගැනීමටත් අවශ්‍ය දැනුම හුවමාරු කර ගැනීමටත් අදාළ සංවාදයන් ගොඩනගා ගැනීමටත්ය. මෙය දැනුම් මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාකරමින් ගවේෂණයන් සහ ස්වභාවික නිෂ්පාදනයන්හි විද්‍යාත්මක පදනම වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ඇත. සොබාදහමේ විසඳුම් සොයන ජාත්‍යන්තර මට්ටමේ  ආයතනයන්ට, දේශීය සමාගම් වලට මෙන්ම විශ්වවිද්‍යාල වලටද තවදුරටත් සොබාදහම පදනම් කරගත් විසදුම් පිළිබඳව දැනුවත් වීමටත්, එම දැනුම වර්ධනය කරගැනීමටත් මෙම මධ්‍යස්ථානය ඉඩකඩ සලසා දෙනු ඇත.තවදුරටත් අදහස් දක්වමින් ආචාර්ය දේවප්‍රිය නුගවෙල මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් සපිරි ශාඛ කොටස් ශරීර සුවතාවය වෙනුවෙන් භාවිත කරනා ආයුර්වේදය සහ දේශීය චිකිත්සාව පිළිබඳව අවුරුදු දහස් ගණනක ලිඛිත ඉතිහාසයක් ඇති රටක් වන බැවින් ජාත්‍යන්තරයේ තරඟකාරී සෞඛ්‍ය සහ සුව සත්කාරයට අදාළ නිෂ්පාදන සපයන්නෙකු ලෙස ඉදිරියට යාමට අපට හැකියාව ඇති බවයි.කෙසේ වෙතත් සෞඛ්‍ය සහ සුව සත්කාරයට අදාළ නව නිපැයුම් ඉදිරිපත් කිරීමට පෙර එයට අදාළ වූ සොබාදහමේ රහස් පිළිබඳව ගවේෂණයත් ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කිරීමත් අත්‍යවශ්‍ය වේ.ඊට අවශ්‍ය පහසුකම් සැපයීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රමුඛතම කාර්යභාරය වනු ඇත.”

මෙම අති නවීන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය තුළින් නව සොයාගැනීම් සහ සොබාදහම මුලික කරගත් සෞඛ්‍ය සහ සුව සත්කාර නිෂ්පාදන සංවර්ධනය කිරීම ලින්ක් නැචුරල් සමාගමේ අරමුණ වන අතර සිය නිෂ්පාදන ශ්‍රී ලංකාව තුල මෙන්ම ජාත්‍යන්තරය තුලත් වඩ වඩාත් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ උත්සාහයයි. ඒ තුළින් ඵලදායි මෙන්ම ආරක්‍ෂිත සෞඛ්‍ය සහ සුව සත්කාර නිෂ්පාදන ලොවට හඳුන්වා දෙන පුරෝගාමී නිෂ්පාදන ආයතනයක් බවට පත්වීම ලින්ක් නැචුරල් සමාගමේ මූලික දැක්මයි.