Saturday, May 4, 2024

General line - 0115112241

බාධා මැද උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ වේ




යාල්දේවී දුම්රිය පීලි පැනීම නිසා උතුරු මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර දුම්රිය ධාවනයට ඇති වූ බාධා තවමත් පවතිනවා.

කොළඹ කොටුවේ සිට යාපනය දක්වා සහ තලෛමන්නාරම දක්වා ඊයේ (27) රාති‍්‍රයේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය දෙකම මේ හේතුවෙන් අවලංගු කිරීමටද සිදුවූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.  

කෙසේවෙතත් අද (28) පෙරවරුවේ සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණා. අඹන්පොල සහ ගල්ගමුව අතර ප‍්‍රදේශයේදී මගීන් ප‍්‍රවාහනයට බස් රථ යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය සිදුකරන බවයි දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ. පීලි පැනීමට ලක් වූ යාල්දේවි දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

යාල්දේවී දුම්රිය පීලි පැනීමකට ලක්වුණේ ඊයේ (27) පස්වරුවේ කංකසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය කෙරෙමින් තිබියදීයි. මෙම අනතුරේදී මැදිරි 4 ක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී පෙරළී ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුර නිසා දුම්රිය මාර්ගයේ මීටර් සියයක පමණ කොටසකට බරපතල හානි සිදුව ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා. එලෙස හානි වූ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවන්ද තවදුරටත් සිදුවෙමින් තිබෙනවා. 

මෙම අනතුර පිළිබඳ සොයා බැලීමට දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු, ඩිලන්ත ප‍්‍රනාන්දු ද ඊයේ පස්වරුවේ අනතුර සිදුවූ ස්ථානයට ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් අනතුරට හේතුව තවමත් තහවුරු වී නැහැ. ඒ පිළිබඳ දෙපාර්තමේන්තු සහ පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.