Saturday, May 4, 2024

General line - 0115112241

නගර අලංකරණයට හානි වන පරිදි සවිකර ඇති බැනර් සහ පෝස්ටර් ඉවතට - බස්නාහිරෙන් ඇරඹේ




නගර අලංකරණයට හානි වන පරිදි බස්නාහිර පළාත පුරා තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හෝ කටවුට් වහාම ඉවත් කරන්නැයි ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබෙනවා. නගර අලංකාරව සහ පිරිසිදුව පවත්වාගෙන යාම එහි අපේක්‍ෂාව බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඇය කියාසිටියේ.

තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හා කටවුට් ඉවත් කිරීමේ කටයුතු පොලීසිය විසින් ද අධීක්‍ෂණය කෙරෙනවා.

සමාජ මාධ්‍යයන්හි හුවමාරු වන ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ පෝස්ටර්, බැනර් හෝ කටවුට් වැනි දේ මුද්‍රණය කිරීම නතර කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි. එහෙත් එවැනි කිසිදු උපදෙසක් ජනාධිපතිවරයා ලබාදී නැහැ. පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බවයි ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල නෙත් නිවුස් වෙත කියාසිටියා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව ආරම්භ කෙරුණු පරිසර ආරක්‍ෂණ සහ නගර අලංකරණ වැඩසටහන යටතේ බගවන්තලාව නගරයේ ද පවිත‍්‍ර කිරීමේ වැඩසටහනක් ඊයේ (27) සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

බගවන්තලාව පොලීසියේ පරිසර ඒකකය සහ නෝර්වුඞ් ප‍්‍රාදේශීය සභාව එක්ව සංවිධාන කළ මෙම පවිත‍්‍ර කිරීමේ වැඩසටහනට වෙළද ප‍්‍රජාව සහ තී‍්‍රරෝද රථ රියදුරන්ද එක්ව සිටීම විශේෂත්වයක් වුණා.

ති‍්‍රරෝද රථවල ගමන් ගන්නා මගීන්ට කැළිකසල පරිසරයට මුදා හැරීමට ඉඩ ලබා නොදෙන ලෙසත් එලෙස අවිධිමත්ව කැළිකසල බැහැර කරන්නන් සම්බන්ධයෙන් තොරතුරු වහාම දැනුම් දෙන ලෙසත් පොලීසිය තී‍්‍රරෝද රථ රියදුරන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.