Sunday, May 5, 2024

General line - 0115112241

ස්විස් සිද්ධිය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය සියළු තානාපතිවරුන්ට කරුණු කියයි




ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සියලූම තානාපතිවරුන් දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි. පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ප‍්‍රකාශයක් සිදු කර නොමැති බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.

ඇය අසනීප තත්වයකට ප‍්‍රතිකාර ගැනීමට යැයි පවසා ස්විට්සර්ලන්තයෙන් ලබාදෙන ගුවන් යානයකින් එරටට යාමට අවසර ඉල්ලා තිබෙනවා.

එහෙත් අධිකරණය මගින් ලබන 09 වනදා තෙක් තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් ඇයට රටින් පිටවීමට නොහැකි බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සදහන් කළේ.

ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්තද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

ස්විට්සර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට බාධා නොවන අයුරින් මෙම ගැටලූව විසඳා ගැනීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියාසිටියේ.

රටේ කීර්ති නාමයට හානි නොවන අයුරින් කටයුතු කිරීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත එහිදී අවධාරණය කළා.