Sunday, May 5, 2024

General line - 0115112241

රිෂාඩ්ගෙන් ජනපතිට ඉල්ලීම් 02 ක්




හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීම් 02 ක් ඉදිරිපත් කරමින් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලමින්.

සිය බලය අයථා ලෙස භාවිත කරමින් විල්පත්තු රක්ෂිතය තුළ පිහිටි රජයේ ඉඩම් කිසිවක් විනාශ කර නොමැති බවයි හිටපු අමාත්‍යවරයා සිය ලිපියෙහි දක්වා ඇත්තේ. නමුත් ඒ සම්බන්ධයෙන් තමාට දිගින් - දිගටම චෝදනා එල්ල වෙමින් පවතින බව ද ඔහු පවසා තිබෙනවා.

ඒ හේතුවෙන්, විල්පත්තු වනෝද්‍යානයට කිසියම් හෝ හානියක් සිදුව ඇත්නම් ඊට වගකිව යුත්තන් කවුරුන්දැයි සොයා බැලීමට ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කර, අදාළ කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ද හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී  තිබුණ ද මේ දක්වා සිදු කළ පරීක්ෂණවලින් තමා නිර්දෝෂී බවට තහවුරු කරගෙන ඇති බවයි හිටපු අමාත්‍යවරයා සිය ලිපියේ සදහන් කර ඇත්තේ.

නමුත් අවශ්‍ය නම් නැවත ජනාධිපති කොමිසමක් පත් කර එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙම ඉල්ලීම් සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මේ වනවිටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසමක් පත් කර තිබියදීයි.