Sunday, May 5, 2024

General line - 0115112241

අද රෑ සිට වැස්ස වැඩි වෙයි. - වැව් සහ ජලාශ 30 ක් වාන් දමයි




දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්වය අද (08) රාත්‍රියේ සිට තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි. විශේෂයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොණරාගල, පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 200 ක ඉතා තද වැසි ඇද හැලෙනු ඇති.

අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ මාතලේ මෙන්ම කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කෙරෙනවා. මේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුණා.

මේ අතර, නායයෑම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ. මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දිස්ත්‍රික්ක 12 ක වැව් සහ ජලාශ 30 ක වාන් දොරටු විවෘත කර ඇති බවයි. රාජාංගණය, යාන් ඔය, ලුණුගම්වෙහෙර, මව්ආර යන ජලාශ ද ඒ අතරට අයත්. මේ සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි දැනුම් දෙන්නේ.

මේ අතර, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර ඇති අතර එහි ජලය මුදා හැරෙන්නේ කලා ඔයටයි. යාන් ඔය ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කර ඇති අතර තත්පරයට ඝණ අඩි 16,260 ක ජල ධාරිතාවක් යාන් ඔයට මුදා හැරෙනවා.