Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දියාවේ විරෝධතා තවත් ප්‍රබල වෙයි




ඉන්දියාවේ දිල්ලි නුවර ගිනිකොණ දිග ප‍්‍රදේශ කිහිපයක පාසල් රැසක් අද (16) දිනයේ වසා තැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතරට රජයේ මෙන්ම පෞද්ගලික පාසල් ද අයත්. අදාළ ප‍්‍රදේ්ශවල පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසාදැමීමට බලධාරීන් තීරණය කළා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප‍්‍රාන්ත රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව ද සඳහන්. 

මේ අතර දිල්ලි, උත්තර ප‍්‍රදේශ් හා හයිද්‍රබාද් ඇතුළු ප‍්‍රාන්ත කිහිපයක පිහිටි ඉස්ලාම් විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (15) දිනය පුරා ප‍්‍රබල විරෝධතා මාලාවක් කි‍්‍රයාත්මක කර තිබුණා. ඇතැමුන් බස්රථවලට සහ මෝටර්රථවලට ගිනිතබමින් කලහාකාරී ලෙස හැසුරුණු බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

විරෝධතාවයේ යෙදෙන විශ්ව විද්‍යාල සිසුන් පාලනය කිරීමට පොලීසිය උත්සහ දැරීමේදී දෙපාර්ශ්වය අතර ගැටුම් ද හට ගත්තා. කලහාකාරී ලෙස හැසුරුණු විශ්ව විද්‍යාල සිසුන් 100 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්වු අතර පසුව ඔවුන් මුදා හැරුණු බවයි වාර්තා වන්නේ. 

ඉන්දියාවේ මෙලෙස ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පවතින්නේ ඉකුත් දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණු සංශෝධිත පුරවැසි පනත් කෙටුම්පතට එරෙහිවයි. එම පනත් කෙටුම්පත හරහා ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලාදේශයෙන් හා පාකිස්තානයෙන් ඉන්දියාවට පැමිණ සිටින මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක‍්‍රමණියකයින්ට පුරවැසිභාවය හිමිවනවා.