Friday, May 3, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවට සහ මන්ත්‍රිවරුන්ට ගරු කරන්න : ඉන්දීය අගමැති කියයි




සියලුදෙනා පාර්ලිමේන්තුවට මෙන්ම මන්ත්‍රීවරුන්ට ද ගරුකළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් නව පුරවැසි නීතියට එරෙහිව එරට දිගින් දිගටම ක්‍රියාත්මක විරෝධතා මාලාව සම්බන්ධයෙන් සිය අවධානය යොමුකරමින්.

සිය රට තුළ පිඩාවිඳිමින් සිටින සංක්‍රමණිකයින්ට සරණක් වීම සඳහා නව නීතිය සම්මත කළ බවයි දිල්ලි නුවර පැවැති ජනරැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. නව පුරවැසි නීතිය හරහා ඉන්දියාව තුළ සිටින සංක්‍රමණික මුස්ලිම් වැසියන් රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන බවට කොංග්‍රස් පක්ෂය විසින් ප්‍රචාරය කරන බවට පැවසෙන ප්‍රකාශයන්ට ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.

ඒ අනුව ඉන්දියාව යනු රැඳවුම් මධ්‍යස්ථානයක් නොවන බවත් රට තුළ කිසිඳු මුස්ලිම් වැසියෙක් රඳවා තබාගෙන නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා තරයේ අවධාරණය කර සිටියා. තමන්ට වෛර කළ ද අහිංසක පුරවැසියන්ට හිංසා කිරීමෙන් වළකින ලෙසයි අග්‍රාමාත්‍ය මෝදි සිය ප්‍රතිවිරුද්ධ මතධාරීන්ගෙන් ඉල්ලා සිටියේ. සංශෝධීත පනත් කෙටුම්පත කියවා බලන ලෙසත් කටකතා වලට රැවටී කලහකාරී ක්‍රියාවන්ට එක් නොවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඉන්දීය තරුණයින්ගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළා. 

නව පුරවැසි නීතියට එරෙහිව දින 10 ක් පුරා ක්‍රියාත්මක මහජන විරෝධතා වලදී මේවනවිට පුද්ගලයින් 20 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම නව නීතිය මගින් සිදු කෙරුණේ, ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලාදේශයෙන් හා පකිස්ථානයෙන් ඉන්දියාවට පැමිණ සිටි මුස්ලිම් නොවන සංක්‍රමණික ප්‍රජාව හට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමයි.