Sunday, May 5, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්




ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, සතියක කාලයක් සඳහායි. පාලනය කිරීමට නොහැකි ලෙස ප්‍රාන්තය තුළ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට බලධාරීන්ට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර ලැව්ගිනි පවතින ප්‍රදේශවල සංචාරය කිරීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් දැරූ උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. ඒ, අගමැතිවරයාගේ පැමිණීමට ප්‍රදේශවාසීන් විරෝධය දැක්වීම හේතුවෙන්. ලැව්ගිනි පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නොගත් බවටයි ඕස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍යවරයා හට චෝදනා එල්ල වන්නේ.

මේ අතර ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරළ තීරය තුළ සිරවී සිටින 4,000 ක් පමණ මුදා ගැනීමට එරට හමුදාව කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා හමුදාවට අයත් නොෟකා මෙන්ම ගුවන් යානාද යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ පමණක් ලැව්ගිනිවලට කොටුවී සිටි 800 ක් පමණ නෞකා මගින් මුදා ගැනුණා. 

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාව තුළ පැතිරයමින් ඇති ලැව්ගිනි හේතුවෙන් මේවනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 18 ක්. තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි පැවසෙන්නේ. නිවාස 1,200 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. 

මේ අතර ඕස්ට්‍රේලියාවේ සිට කිලෝ මීටර් 2,000 ක් පමණ දුරින් පිහිටි නවසීලන්තයට ද මෙම ලැව්ගිනි තත්ත්වයේ බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඕස්ට්‍රේලියාවේ පවතින ලැව්ගිනිවලින් පිටවන දුමාරය හේතුවෙන් නවසීලන්තයේ දකුණු දූපතේ අහස කහ පැහැගැන්වී ඇති බවයි පැවසෙන්නේ.