Sunday, May 5, 2024

General line - 0115112241

ජපන් මුහුදු සීමාවේ නවතා ඇති නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට




ජපන් මුහුදු සීමාවේ රඳවා තබා ඇති සුඛෝපභෝගී ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටියදී හඳුනා ගැණුනු නව කොරෝනා ආසාධිතයින් ගණන 135 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස අතර නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු ද වන බවයි නෞකාවේ කපිතාන්වරයා අද (10) නිවේදනය කළේ.

කාර්යය මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව නෞකාවේ සිටින මුළු පිරිස 3700 ක්. පවතින තත්ත්වය අනුව ඔවුන් සියලු දෙනා පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීම අසීරු කටයුත්තක් බවයි ජපානයේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ. ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා පවතින පහසුකම් ද සීමිත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව පවතින පහසුකම් යටතේ නෞකාවේ සිටින මගීන්ගෙන් උණ රෝගයෙන් පෙළෙන පිරිස්, දැනට හඳුනාගෙන ඇති කොරෝනා ආසාධිත පුද්ගලයින් සමග සමීප සබඳතා පැවැත්වූ පිරිස් සඳහා සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන බව ද ජපන් බලධාරීන් සඳහන් කළා.

එමෙන්ම එම නෞකාවේ සිටින වයස අවුරුදු 80 ට වැඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පිරිස් තෝරාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයද පරීක්‍ෂා කිරීමටයි ජපාන බලධාරීන් තීරණය කර ඇත්තේ.  

මේ අතර චීනයේ සිටි විදේශිකයින් 27 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය අද තහවුරු කළා. ඉන් දෙදෙනෙකු මේවනවිටත් මියගොස් ඇති අතර එලෙස මියගියේ අමෙරිකානු ජාතිකයෙක් හා ජපන් ජාතිකයෙක්.

තවත් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව නව කොරෝනා වෛරසය ආසාධනය වූ විදේශිකයින් 22 දෙදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 908 ක්.