Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ පාසැල් සහ ක්‍රීඩා තරග මාස දෙකකට තහනම් කිරීමට යයි : ඉරානයේ මරණ සංඛ්‍යාවත් 34 දක්වා ඉහළට




කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ ප්‍රදර්ශනයක්‌ වන " Geeva Motor Show" අවලංගු කිරිමට එහි සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ ස්විට්සර්ලන්ත රජය විසින් පනවනු ලැබූ නියෝගයක්‌ හේතුවෙන්.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිමේ අරමුණින් ස්විට්සර්ලන්ත රජය විසින් මාර්තු මස 15 වෙනිදා දක්වා එරට තුල පුද්ගලයින් 1000කට නොවැඩි සංඛ්‍යාවක් ඒකරාශී වන සියලුම උත්සව සහ රැස්වීම තහනම් කිරිමට නියෝග කර තිබෙනවා.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 34 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඉරානයේ කොරෝනා වෛරසය ආසාධිතවූ රෝගීන් ගණන 388 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර දකුණු කොරියාවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 2337ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු කොරියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස අද (28) ලෙස සැලකෙනවා. අද දිනය තුලදී වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 571ක් වාර්තා වී තිබෙන බවයි එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර දකුණු කොරියාවේ පිහිටි හයිහුන්ඩායි මෝටර් රථ නිෂ්පාදන ආයතනය සිය කර්මාන්ත ශාලා වසා දැමිමට තීරණය කර තිබෙනවා.

ජපානයේ කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එම හදිසි තත්ත්වය මාර්තු මස 19 වෙනිදා තෙක් ක්‍රියාත්මක වනවා. මේ වන විට හොකයිඩෝ ප්‍රාන්තයේ නව කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් 13 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යයේද අද දිනයේ කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වී තිබෙනවා. මේ වන විට බ්‍රිතාන්‍යය තුල වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම රෝගීන් ගෙන් 6 දෙනෙක් වාර්තා වුයේ ගතවූ පැය 24 තුලදී වීම විශේෂත්වයක්.

ඇතිවී තිබෙන තත්ත්වයත් සමග මාස දෙකක කාලයක් සඳහා එරට සියලුම පාසැල් වසා දැමීමට සහ සියලු ක්‍රීඩා තරග ඇතුළු සංගීත සංදර්ශන පැවැත්වීම අත්හිටුවීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට අවධානය යොමු කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ.

මේ අතර ඉතාලිය, බ්‍රිතාන්‍යයේ ඇතුළු රටවල් ගණනාවක ජනතාව හදිසි වසංගත තත්ත්වයක් ඇතිවෙය යන බියෙන් ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක් රැස් කිරීම ආරම්භ කර තිබෙනවා. නගර රැසක කඩ සාප්පුවල භාණ්ඩ හිඟ වීමේ තත්ත්වයන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ.