Saturday, May 4, 2024

General line - 0115112241

සියලුම දෙනාට නිවෙස් තුලට වී ඉන්නැයි දකුණු කොරියාව දැනුම් දෙයි : කොරෝනා ගැන තැකීමක් නොකළ බ්‍රිතාන්‍ය අගමැතිටත් දෝස්මුරයක්




සියලුම පුරවැසියන්ට හැකිතාක් දුරට නිවෙස් තුලටම වී සිටින්නැයි දකුණු කොරියානු රජය දැනුම් දී සිටිනවා. එරට රජය මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ ගතවූ පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 දෙනෙක් එරටින් වාර්තා වීමත් සමගයි. දිනයක් තුලදී දකුණු කොරියාවෙන් වාර්තාවූ ඉහලම වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව මෙය වනවා.

දකුණු කොරියාවෙන් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 3150ක් වනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් දකුණු කොරියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය Kim Kang-lip කියා සිටියේ රටේ තත්ත්වය ඉතා තීරණාත්මක මොහොතකට ලඟා වී ඇති බවයි. කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා මහජනතාවගේ සහය අවශ්‍ය බවත් ඒ හේතුවෙන් මහජන රැස්වීම්, ආගමික වතාවත් සඳහා සිදුකරන ඒකරාශීවීම් වලට නොයා හැකිතාක් දුරට නිවෙස්වලටම වී සිටින්නැයි ඔහු ඉල්ලා සිටිනවා.

මේ අතර නිව් යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත කාන්තා සමුළුවකට නොයා සිටින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් සිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මාර්තු මස 09 සිට 20 වෙනිදා දක්වා නිව්යෝර්ක් හිදී පැවැත්වීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සමුළුවට 7000 කට අධික පිරිසක් ලොව නන් දෙසින් පැමිණීමට නියමිත බව සඳහන්.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීම නිසා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් මෙම සමුළුව අවම දින ගණනක් තුල සිදුකරන ලෙසත් ඊට සමගාමිව පවත්වනු ලබන උත්සව සහ අනෙක් සම්මන්ත්‍රණ නොපවත්වන ලෙස උපදෙස් ලබාදී ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් හට එරට ජනතාවගෙන් දැඩි දෝෂදර්ෂණයට ලක් වී තිබෙනවා.

ඒ බ්‍රිතාන්‍ය තුල පැතිර යමින් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරිමට සහ ඒ සම්බන්ධයෙන් වන හදිසි සෞඛ්‍ය ආරක්ෂණ කමිටුව රැස්කිරිම සදුදා දිනය දක්වා ප්‍රමාද කිරිම හේතුවෙන්.

මේ වන විට ලෝකයේ රටවල් 50 කින් නව කොරෝනා වෛරස් ආසාධිතයින් හමුවී තිබෙනවා.

වාර්තා වන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 83,650ක් වන අතර ඉන් රෝගීන් 78,961 ක් චීනයෙන් වාර්තාවූ රෝගීන් වනවා.

මේ වන විට ලොවපුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 2791 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ.