Monday, May 6, 2024

General line - 0115112241

ලංකාවේ ජනතාවගේ ජීවිතාරක්ෂාව වැදගත් : කොරෝනා වෛරසය පවතින රටවල සිට එන සියලු දෙනා නිරෝධාන ක්‍රියාවලියට සහය දක්වන්න - සෞඛ්‍ය ඇමතිනිය ගෙන් ඉල්ලීමක්




කටුනායක ගුවන් තොටුපළේදී සිදු කෙරෙන නිරෝධායන කටයුතු සඳහා සහය ලබා දෙන්නැයි කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබෙන විදෙස් රටවල සිට පැමිණෙන සියලූ දෙනාගෙන් රජය නැවත ඉල්ලීමක් කරනවා. මූලික පරීක්ෂණ වලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රදවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ. 

කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ඊයේත් අද දිනයේත් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරුණා.  

මේ පිළිබඳ  ප‍්‍රතිචාර දක්වමින් රජය අවධාරණය කළේ මෙම නිරෝධායන වැඩපිළිවල සැලසුම් කර තිබෙන්නේ නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවට ඇතුළුවීම වලක්වා ගැනීමට බවයි. එය ප‍්‍රතික්ෂේප කල නොහැකි සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ ඒ පිළිබඳ වැඩදුරටත් කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි.

නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙන්නන්ගේ සාධාරණ ඉල්ලීම්වලට විසදුම් ලබා දීමට රජය කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පැවසුවා.

දකුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට පැමිණෙන පිරිස් සඳහායි මේ වන විට නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ. ඊට එරෙහි වූ ඇතැම් පිරිස් ඊයේ කියා සිටියේ නිරෝධායන කාලය තුළ ආහාරපාන සඳහා මුදල් ගෙවීමට තමන්ට සිදුවන බවයි. එහෙත් නිරෝධායන කටයුතු සම්බන්ධීකරණය කරන යුද හමුදාව එම ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කලා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ පස්වරුවේ අවධාරණය කළේ නිරෝධායන කටයුතු සඳහා කිසිදු අයකිරීමක් සිදු නොකරන බවයි. 

එසේ තිබියදී දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට කටුනායකට අද පැමිණි පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවල රදවා නොතබා තමන්ට නියමිත දින 14ක කාලය නිවෙස්වල රැදී සිටීමට අවසර ලබා දෙන්නැයි අලූත් ඉල්ලීමක් ඉදිරිපත් කළා. එහෙත් මූලික පරීක්ෂණ වලින් පසු දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද පැමිණි පිිරිස්ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ.

මේ අතර නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්තවීම වලක්වාලීම සඳහා ආරම්භ කර ඇති මෙහෙයුම්වලට සහය ලබා දෙන්නැයි ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කරමින් සියලූ පාර්ශව වලින් අද ඉල්ලීමක් කළා.