Monday, May 6, 2024

General line - 0115112241

නිරෝධායන කටයුතුවලට බාධා කරන්නන් ගැන පොලිසිය අවධානයෙන්




රට තුළ සෞඛ්‍ය අවදානමක් මතුව ඇති මෙවන් අවස්ථාවක කොරෝනා වෛරසය ආසාදනයවීමේ අවදානමක් සහිත පුද්ගලයින් නිරෝධායන කි‍්‍රයාවලියට එක්වීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව පොලීසිය පවසනවා.

පොලිස් නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ද ඇති බවයි.

මෙවැනි වෛරස් රෝගී තත්ත්වයක් පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති සෞඛ්‍ය කි‍්‍රයාමාර්ග කිසිවෙකුටත් උල්ලංඝණය කළ නොහැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

සෞඛ්‍ය කි‍්‍රයාවලියට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව පැනවිය හැකි දඩුවම් සම්බන්ධයෙන්ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැහැදිලි කළා.

එහිදී අදාළ පනතේ රෙගුලාසි අනුව නඩු පවරා මාස 06ක සිරදඬුවමකට හෝ මුදල් දඩයකට යටත් වෙන බවත් සඳහන් කළා. අදාළ නියෝගවලට පටහැනිව ක්‍රියා කරන අයව පොලිස් නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ හැකියාවද ඇති බවයි පෙන්වා දුන්නේ.

ඉතාලියේ සිට පැමිණ ඇති පුද්ගලයෙකුට නිරෝධායනයට එක්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණද ඔහු ඊට එක්නොවී දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සංචාරය කළ පුවතක් ඊයේ (12) වාර්තා වුණා.

කෙසේවෙතත් පසුව ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සදහා IDH  රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එමෙන්ම ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනයට ලක් කිරීමේ කි‍්‍රයාවලියේදී ද විවිධ පුද්ගලයින් ඊට ද විරෝධය පළ කරන අයුරු ඉකුත් සමයේ දැකගත හැකි වුණා. 

ඒ අනුව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම පිළිබඳ මෙරටට පැමිණෙන ගුවන් මගීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ක‍්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර කියාසිටියේ ඉන් පසුව ශ‍්‍රී ලංකාවේ සිදු කෙරෙන නිරෝධායන වැඩසටහනට ගුවන් මගීන් දැක්වූ විරෝධතාව, පාලනය කර ගැනීමට හැකි වූ බවයි.