Monday, May 6, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයට ගුවන් ගමන් තහනමක් : ජනාධිපති ට්‍රම්ප් කොරෝනා පරීක්ෂණයට ලක්වෙයි 




නව කොරෝනා වෛරසය සඳහා වන රෝග පරික්ෂාව සඳහා තමන් මුහුණ දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ ඊයේ දිනයේදී තමන් එම පරීක්ෂණය සඳහා මුහුණ දුන් බවයි.

එම පරීක්ෂණයේ ප්‍රතිපල ලැබීමට තවත් දිනක් හෝ දෙකක් ගත වෙනු ඇති බවයි මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කර සිටියේ.

මේ අතර යුරෝපයේ රටවල් සඳහා පනවා ඇති ගුවන් ගමන් තහනමට බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය ද ඇතුලත් කිරීමට තමන් තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. මේ වන විට නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇති බවත් බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයෙන් ද වාර්තා වන රෝගීන් සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹී බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙක් මියගොස් ඇති අතර රෝගීන් 2430 ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.