Saturday, May 4, 2024

General line - 0115112241

චීනය අභිභවා ඉතාලිය ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා කරයි




චීනය ද අභිභවා යමින් ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉතාලිය පත්වුණා.

ඒ අනුව ඉතාලියෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 3,405 ක්. චීනයෙන් මේ වනවිටත් වාර්තා වන්නේ  කොරෝනා මරණ  3,245 ක් පමණයි. ගතවූ පැය 24 තුළදී පමණක් ඉතාලියෙන් නව කොරෝනා මරණ 427 ක් වාර්තා වී තිබෙනවා. 

කෙසේවෙතත් නව කොරෝනා ආසාදිතයින් වැඩිම ප‍්‍රමාණයක් වාර්තා වන රටවල් අතර තවදුරටත් පෙරමුණේ පසුවන්නේ චීනයයි. චීනයෙන් මේවනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 80,928 ක් වනවා.

ඉතාලියෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 41,035 ක්. ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වුනු නව කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 5,322 ක් වනවා. 

ඉන්පසුව ලොව වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉරානයයි.

ඒ අනුව ඉරානයෙන් නව කොරෝනා මරණ 1,284 ක් වාර්තා වන්නේ අසාදිතයින් 18,407 ක්ද සමගයි. ගතවූ පැය 24 තුළ පමණක් ඉරානයෙන් නව කොරෝනා මරණ 149 ක් වාර්තා වනවා. 

මේ අතර ගතවු පැය 24 තුල ස්පාඤ්ඤය තුළ නව කොරෝනා ආසාදිතයින් 193 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරටින් ආසාදිතයින් 18,077 ක් වාර්තා වන්නේ මුළු මරණ 831 ක් ද සමගයි. 

මීට අමතරව නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවු පැය 24 ක කාලය තුළ ප‍්‍රංශයෙන් 108 ක්, අමෙරිකාවෙන් 57 ක්, බි‍්‍රතාන්‍යයෙන් 40 ක් සහ නෙදර්ලන්තයෙන් 18 ක් ලෙස පුද්ගල මරණ වාර්තා වනවා.

ඒ අනුව ගතවූ පැය 24 තුලදී ලොව රටවලින් වාර්තා වන මුළු කොරෝනා මරණ ගණන 1,079 ක්.

මේ වන විට ලොව පුරා සිදුව ඇති මුලූ කොරෝනා මරණ 10,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 10,030 ක්. ලොව පුරා සිටින මුළු කොරෝනා ආසාදිතයින් ගණන 244, 779 ක් වනවා.