Sunday, May 5, 2024

General line - 0115112241

මාස දෙකකින් කැලිෆෝනියාවේ ජනගහණයෙන් 56% කොරෝනා වැළදීමේ අවධානමක්




සති 08 ක පමණ කාලයක් තුලදී අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සමස්ථ ජනගහනයෙන් සියයට 56 කට පමණ නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව එම ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසනවා. එම ප‍්‍රතිශතය ජනගහනයෙන් මිලියන 25.5ක් පමණ විය හැකි බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙත ලිපියක් යොමු කරමින් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ.

ප‍්‍රාන්තය තුළ එවැනි අර්බුදයක් මතුවුවහොත්, එම තත්ත්වයට මුහුණදීම සඳහා ප‍්‍රමාණවත් රෝහල් පහසුකම් කැලිෆෝනියා ප‍්‍රාන්තය තුළ නොමැති බව ද ආණ්ඩුකාරවරයා විසින් ජනාධිපති ට‍්‍රම්ප් වෙත දැනුම් දී ඇතැයි සඳහන්. මේවනවිට අමෙරිකාෙවේ ප‍්‍රාන්ත සියල්ලෙහිම නව කොරෝනා වෛරසය පැතිර පවතිනවා. 

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට එරෙහිව ගෙන ඇති පියවරවලට පටහැනිව කි‍්‍රයාකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා ඔවුන්ට දඩ නියම කළ හැකි පරිදි අද නව නීතියක් ගෙන ගෙන ඒමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සූදානම් වනවා. එම නීතිය මගින් පොලීසියට මෙන්ම අමාත්‍යවරුන්ට ද හදිසි නීතියට අදාළව පොලීසියට කි‍්‍රයාත්මක විය හැකි බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ අනුව නව කොරෝනා පරීක්ෂණය සිදුකර ගැනීම ප‍්‍රතික්ෂේප කරන පුද්ගලයින්ට බි‍්‍රතාන්‍ය ස්ටර්ලින් පවුම් 1000 ක දඩයක් පැනවෙනු ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. 

නව කොරෝනා වෛරසය හේතුවෙන් සෑම මිනිත්තු 10කටම වරක් ඉරානය තුළ එක් පුද්ගලයෙකු මියයන බව එරට සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. එසේම සෑම පැයකටම වරක් එරට පුද්ගලයින් 50 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වන බවයි මේවනවිට අනාවරණ වී ඇත්තේ.