Thursday, May 16, 2024

General line - 0115112241

 කොරෝනා නිසා කාන්තාවන්ට වඩා පිරිමින්ට සංකුලතා ඇතිවීමේ හේතුවේ සොයා ගැනේ 




කොවිඞ් 19 හෙවත්, නව කොරෝනා ආසාදනයෙන් සංකූලතා ඇතිවීමට කාන්තාවන්ට වඩා වැඩි ප‍්‍රවණතාවක් පුරුෂයන්ට තිබෙන බව තවත් අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. යුරෝපීය විශේෂඥයින් කණ්ඩායමක් විසින් සිදු කෙරුණු මෙම අධ්‍යයනයේදී තහවුරු වී ඇත්තේ කොවිඞ් 19 වෛරසයේ කි‍්‍රයාකාරීත්වය වේගවත් කරන එන්සයිමයක් පුරුෂයින්ගේ රුධිරයේ වැඩි සාන්ද්‍රනයකින් ඇති බවයි. ඒ සී ඊ 2 ලෙස හැඳින්වෙන මෙම එන්සයිමය හෘදය හා වකුගඩු ඇතුළු අවයව ආශ‍්‍රිතව පවතින බව ද විශේෂඥයින් පවසනවා.

මේ අතර යුරෝපීය රටවල් තවදුරටත් මෙතෙක් පනවා තිබූ ලිහිල් කරමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ අනුව සති ගණනාවකට පසු ප‍්‍රංශ වැසියන්ට විශේෂ අවසරයකින් තොරව එලිමහනේ නිදහසේ ඇවිදීමට ද අවස්ථාව ලැබී තිබෙනවා. ස්පාඤ්ඤඤයේ ප‍්‍රමුඛ පෙළේ අන්තර් සමාජ පාපන්දු තරගාවලිය ලබන මස 12 වනදා ආරම්භ කිරීමට ද දින නියම කර තිබෙන බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
 
කෙසේවෙතත්, පනවා තිබෙන සීමා උල්ලංඝණය කරන්නන්ට නියම කරන දඩ ලබන බදාදා සිට වැඩි කිරීමට බි‍්‍රතාන්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමුවර සිදුකරන වරදක් සඳහා ස්ටර්ලින් පවුම් 100 ක් හෙවත්, රුපියල් 24,000 කට ආසන්න දඩයක් නියම කෙරෙනු ඇති. නැවත නැවත වැරදි සිදුකළ හොත් ඒ සෑම අවස්ථාවකදීම දඩය දෙගුණ කිරීමටයි තීරණය කර තිබෙන්නේ.