Sunday, April 28, 2024

General line - 0115112241

ඉරාකය තුළ පූර්ණ වශයෙන් ඇඳිරි නීතිය




කොවිඞ්-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ඉරාකය තුළ පූර්ණ වශයෙන් ඇදිරි නීතිය පැනවීමට එරට රජය යළි තීරණ කර තිබෙනවා. එය ලබන ඉරිදා සිට මැයි මස 28 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

අදාළ කාලය තුළ රාමසාන් උත්සව සමයද යෙදී තිබීම විශේෂත්වයක්. ඉරාකයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පැවතීම මෙලෙස ඇදිරි නීතිය යළි පැනවීමට හේතුවයි. 

මේ අතර බ‍්‍රසීලයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 1,179 ක්. ඒ අනුව බ‍්‍රසීලයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 17,983 ක් වනවා.

කෙසේවෙතත් ගත වු පැය 24 තුළද වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 20,176 ක්. අමෙරිකාවේ වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් ගණන පහලොස් ලක්‍ෂ 70,470 ක්. අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද 93,523 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ වනවිට ලෝකයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49 ලක්‍ෂ 82,754 ක්. ඉන් 19 ලක්‍ෂ 56,329 ක් පූර්ණ සුවය ලබා  තිබෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 24,525 ක්.