Monday, April 29, 2024

General line - 0115112241

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කරන්න - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා සිටියා.

අදාළ පෙත්සම් 5 වන දිනටත් අද කැදවූ අවස්ථාවේ ඇය සිය වාචික දේශන ආරම්භ කරමින් කියාසිටියේ මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් කාලසීමාව ඉක්මවා මාස දෙකකට පසුව බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඊ ෆයිලින් නැමැති ක‍්‍රමවේදය අනුගමනය කිරීමට පෙත්සම්කරුවන්ට අවස්ථාව තිබූ බවත් ඇදිරි නීති කාලය තුළ එම ක‍්‍රමවේදය අනුගමනය කළ යුතුව තිබුණු බවත් ඇය ප‍්‍රකාශ කළා. 

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී කියාසිටියේ මැතිවරණ කටයුතු අත් හිටුවීමේ නියෝගයක් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියද මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ, පෙත්සමේ පාර්ශ්වයන් ලෙසට නම් නොකිරීමෙන් ඔවුන් කරුණු වසන්කිරීමක් සිදු කර ඇති බවයි. 

මේ අතර දැනට පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ, තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පි.බි. ජයසුන්දර වෙත ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බව ප‍්‍රකාශ කර තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම ගැටලූ සහගත බවයි ඔහු එහිදී පැවසුවේ. 

තවද ආදායම් අහිමි අඩු ආදායම්ලාභීන් අතර බෙදා දුන් රුපියල් 5000 මුදල බෙදා දීමට ද මැතිවරණ කොමිෂන් සභාව බාධා සිදු කරමින් සිටින බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් පැවසුවා. මෙම පෙත්සම් සළකා බැලීම ලබන අගහරුවාදා උදෑසන 10 තෙක් කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.