Monday, May 6, 2024

General line - 0115112241

සීග්‍ර ලෙස වැඩි වී ඇති සමනල් විශේෂය ගැනත් විශේෂ පරීක්ෂණයක්




බෝගවලට හානි කරන පළගැටි විශේෂයෙන් පසු මෙතෙක් නොදුටු සමනල් විශේෂයක් පිළිබද පොළොන්නරුව, වැලිකන්ද ප‍්‍රදේශයෙන් මේ වනවිට වාර්තා වනවා.

ගම්වාසීන් පවසන්නේ ලක්‍ෂ ගණනින් පැමිණ ඇති මෙම සමනලූන් ගස්වල මෙන්ම බෝග වගාවන් තුළද දැකගත හැකි බවයි.

කිසියම් බෝගයකට හෝ පත‍්‍රවලට විදීමට හැකියාවක් ඇති තුඩ දෙකකින් සමන්විත මෙම සමනල් විශේෂයෙන් බෝගවලට යම් හානියක් විය හැක බවටයි ගම්වාසීන් මෙන්ම ගොවිජනතාවද සැක පල කරන්නේ. එබැවින් ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම බලධාරීන් වහාම අවධානය යොමුකළ යුතු බවද ඔවුන් පවසනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් ගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ මෙම සමනල් විශේෂය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් මේ වනවිට කි‍්‍රයාත්මක බවයි.

මෙම සමනල් විශේෂය වාර්තා වන්නේ, කුරුණෑගල මාවතගම ප‍්‍රදේශයෙන් වාර්තා වූ භෝග වනසන පළගැටි විශේෂය මේ වනවිට සබරගමුව, දකුණ මෙන්ම උතුරු පළාතටත් ව්‍යාප්තවී ඇති පසුබිමකයි. 

කෙසේවෙතත් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් පැවසුවේ කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි ගහණය මේ වනවිට මර්දනය කර ඇති බවයි.

මෙම පළගැටි විශේෂය මෙතරම් සීග‍්‍රයෙන් පැතිරෙන්නේ කෙසේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. කීඨ විද්‍යාඥයින් සදහන් කළේ මුල් අවදියේදීම මෙම පළගැටි විශේෂය මර්දනය නොකලහොත් ඔවුන් වර්ධනය විය හැකි බවයි. 

බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එස්. ආර්. සරත්චන්ද්‍ර වැඩි දුරටත් පෙන්වා දුන්නේ ස්වභාවික පරිසර සමබරතාවය බිඳවැටුණු අවස්ථාවල මෙවැනි තත්ත්වයන් සාමාන්‍යෙයන් ඇති වෙන බවයි.

මෙම පළගැටි විශේෂය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත්දා තොරතුරු අනාවරණ කළේ එමගින් සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබදවද අනාවරණය කරමින්. පළගැටියන් දහස් ගණනක් රංචු වශයෙන් පැමිණ වගා බිම් ආක‍්‍රමණය කිරීම මෙහි විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම පළගැටි ගහණයේ පාලනයට මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම බලධාරීන් පැවසුවේ.