Monday, May 6, 2024

General line - 0115112241

අද සහ හෙට පොලිස් මාර්ග බාධක සහ පරීක්ෂා කිරීම් වැඩි කෙරේ




දින කිහිපයකට පසු යළිත් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඊයේ (03) රාත‍්‍රී 10.00 සිට මෙලෙස රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බවයි පොලීසිය පැවසුවේ. අද (04) සහ හෙට (05) දින දෙකේදී රටපුරා මෙලෙස ඇඳිරි නීතිය පනවා තැබෙන බව ද ඇඳිරි නීතිය නැවත ලිහිල් කෙරෙන්නේ සෙනසුරාදා අලූයම 4.00ට බවද ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළා.

මේ අතර පොසොන් පුර පසළොස්වක පොහොය හෙටට යෙදී තිබෙනවා. අද ඊට පෙර දිනයයි. කෙසේවෙතත් ඇඳිරි නීතිය පණවා තිබෙන අවස්ථාවළදී බලපත‍්‍රලාභීන්ට හෝ අවසර ලත් සෙසු අයට හැර කිසිවකුට නිවෙස්වලින් බැහැරව යා නොහැකි බවයි පොලිසිය සිහිපත් කරන්නේ.

අනවශ්‍ය මහජන ඒකරාශි වීම් වලක්වාලීම ඇඳිරි නීතිය පනවා තිබීමේ අපේක්ෂාවයි. ඒ අනුව ඊට ගරු කරමින් නිවෙස්වලම රැඳී සිටින ලෙස නැවත ඉල්ලීමක්ද කෙරෙනවා.

ඇඳිරි නිතිය පනවා තැබෙන කාලයේදී විශේෂ මාර්ග බාධක යොදවන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා සියලූ පොලිස් ස්ථානවෙත දැනුම් දී ඇත්තේ. ඒ අනුව ඇඳිරි නීතිය අවස්ථාවේ ධාවනය වන වාහන සහ මාර්ගයේ ගැවසෙන පුද්ගලයින් නිරන්තර පරීක්ෂාකිරීම්වලට ලක් කෙරෙනු ඇති.

වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ දිනවලද ඇදිරිනීතිය පනවා තිබුණා. ඒ අනුව ශීලසමාදානය ඇතුළු ආගමික වතාවත් නිවෙස්වල සිට ඉටුකරන ලෙසයි රජය එම අවස්ථාවේදී මහජනතාවට උපදෙස් ලබා දුන්නේ. පොසොන් පොහොය වෙනුවෙන් ද ආගමික වතාවත් නිවෙස්වල සිට ඉටුකිරීමට හැකි වනවා.

මේ අතර රටපුරා ඇඳිරි නිතිය පනවා තිබෙන අද රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ  කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ලබන සෙනසුරාදා එනම් ජුනි මස 6 වන දා සියලූ තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල වසා තැබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවා.