Monday, May 6, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් 19 මර්දන කමිටුවේදී ගත් තීරණ 




කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂ වෛද්‍යවරුන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) දිනයේ විශේෂ සාකච්ජාවක් පවත්වනු ලැබුවා. එහිදී විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටියේ.

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයයට භාජනය කොට එම ප්‍රථිපල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන පසු නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීම. ආගාමන පටිපාටියට පෙර පරීක්ෂණ ප්‍රථිපල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට එම පිරිස යොමු කොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

PCR ප්‍රථිපල  කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට තීරණය කරනු ලැබුවා. වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියා.

විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා  එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිමට කටයුතු කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් අද පැවති රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ජා කරනු ලැබුවා.