Friday, April 19, 2024

General line - 0115112241

හමුදා ඇඳුමකට සමාන ඇඳුම් කොටස් සමග හැඳුනුම්පතක් සහ තවත් උපකරණ රැසක් යාපනයේදී හමු වෙයි (PHOTOS)

මාධව කුලසුරිය




යාපනය, පලෙයි පුලෝලිපලෙයි ප්‍රදේශයේ ඉඩමක තිබි යුධ හමුදා නිළ ඇදුමකට සමාන ඇදුම් කොටස් කිහිපයක්, ජාතික හැදුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඒ ඊයේ (16) දිනයේදීයි.

පොලිසිය පැවසූවේ කෑගල්ල, දුම්බුළුවාව,හෙම්මාතගම යන ලිපිනයේ පදිංචි නුවන හේනයලාගේ අමිල උපනන්ද නමැති පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත හා රියදුරු බලපත්‍රය එලෙස හමුවී ඇති බවයි.

ඉඩම් හිමියෙකු අතහැර දමා තිබු ඉඩමක් පවිත්‍ර කිරීමේදී පස් යට තිබි අදාළ නිළ ඇදුම් කොටස්, ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය හමුවී ඇති බව ද පොලිසිය පැවසුවා.

පලෙයි ආරක්ෂක අංශ පැවසූවේ යුධ සමයේ සටන් වැදුණු ආරක්ෂක අංශ සාමාජිකයෙකුට අයත් ජාතික හැදුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් ඇතුළු උපකරණ එලෙස හමුවන්නට ඇති බවට සැක පළ කරන බවයි.

1970 වර්ෂයේ ජනවාරි 10 වැනිදා උපත ලද පුද්ගලයෙකු වන බවට ජාතික හැදුනුම්පතේ සඳහන් වන බවද පලෙයි ආරක්ෂක අංශ පැවසුවා.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිත අතර, හමුවු ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයාගේ තොරතුරු සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසුවා.

යුධ සමයේදී පලෙයි ප්‍රදේශයේදී යුධ හමුදාව හා එල් ටී ටී ඊ සංවිධානය අතර යුධ ගැටුම් බහුලව සිදුවු අතර දෙපාර්ශවයේ සාමාජිකයින් විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා.

පසුගිය මැයි 21 වැනිදා පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේදී ද එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකාවකට අයත් බවට එල් ටී ටී ඊ සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක්, නිළ අංකයක්, යුධ උපකරණ කිහිපයක්ද හමු වී තිබුණා.