Sunday, November 24, 2024

General line - 0115112241

උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන් විසඳුම්




උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර තිබෙනවා.

දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්නා. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා කාල පාරස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස් ඇතිව අනුමැතිය දුන්නා.

කොවිඩ් -19 නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ඇරඹිමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ තීරණවලට එළඹුණා.

2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් -19 වසංගතය නිසා අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මාස පහ මාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි වී ගියා. 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවෝද එවැනිම තත්ත්වයකට මුහුණ දී සිටිනවා. මේ කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමුකරන ලෙස උපකාරක පංති ගුරුවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.

ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.

පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම පිළිබඳව ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ජනාධිපතිතුමාට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් දීමේ හැකියාව සොයා බලන්නැයි විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන්නා.

අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය 24% කි. එය සං‍ශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපතිතුමා එකඟ වුණා. උපකාරක පංති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි වුණා.

ඉරිදා උදේ වරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ජනාධිපතිතුමා රැස්වීමේ අවධානයට යොමු කළා. පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්ත පළ වුණා.

අ.පො.ස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේ වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට ද තීරණය කෙරුණා.

ජනාධිපතිතුමා කොවිඩ්-19 මර්දනයට සහ රටේ සියලු ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගෙන ඇති තීරණ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ප්‍රසාදයට ලක්වන බව ද උපකාරක පංති ගුරුවරු සඳහන් කළා.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, උපකාරක පංති සංගම් කිහිපයක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියා.