Sunday, May 5, 2024

General line - 0115112241

පවතින වැසි තත්ත්වය දිගටම - ප්‍රදේශ කිහිපයකටම අවදානම් නිවේදන නිකුත් කෙරේ




පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 36 තුළද තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලට මිලිමීටර සියය ඉක්ම වූ තද වැසි ඇද හැළෙනු ඇති. 

පවතින වැසි තත්ත්වයත් සමග කොළඹ, ගාල්ල, කලූ‍තර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇගවීම හෙට පෙරවරු 9 තෙක් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, කලූ‍තර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල - වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මෙලෙස නායයෑම් අවදානමේ පවතිනවා. 

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුරුවිට හා ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්පිටිය - නාගොඩ සහ නියාගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද මෙම නායයෑම් අනතුරු ඇගවීම බලාත්මකයි.

අද පෙරවරු අටෙන් අවසන් වූ පැය විසි හතර තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ දෙහි ඕවිට ප‍්‍රදේශයෙන්. එම අගය මිලිමීටර් 219 ක්. ගාල්ල හියාරේ ප‍්‍රදේශයෙන් මිලිමීටර් 160 ක්ද ඇත්කදුර ප‍්‍රදේශයෙන් මිලිමීටර් 137යි දශම 5 ක අගයක වර්ෂාපතනයක්ද වාර්තා වුණා.

කළුතර මීගහතැන්න, ගම්පහ මිනුවන්ගොඩ, රත්නපුර පරකඩුව, ගාල්ල හෑගොඩ, මැණික්කන්ද සහ යක්කමුල්ල යන ප‍්‍රදේශවලට මිලිමීටර් සියයක වර්ෂාපතනයක් ඇද හැලී තිබුණා. 

ගාල්ල දිස්ති‍්‍රක්කයේ පමණක් ග‍්‍රාම නිලධාරි වසම් 79ක පවුල් 3264කට අයත් පුද්ගලයින් 11074 දෙනෙකු පිඩාවට පත්ව ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ.

මේ අතර පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්න¥ව සහ ඉමදුව අතර කොටස රථ වාහන ගමනා ගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. 

එහි රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වූයේ පැවති අධික වර්ෂාපතනයත් සමග අද උදෑසන පින්නදූව සහ ඉමදුව අතර මාර්ගයට පස් කන්ද කඩා වැටීම හේතුවෙන්.