Sunday, May 5, 2024

General line - 0115112241

කුරුණෑගල ඉතිහාසය ඩෝසර් කිරීමේ පරීක්‍ෂණ අවසන්




කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණ මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා.

එහි වාර්තාවද සකස් කර අවසන් බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක නෙත් නිවුස් වෙත කියාසිටියේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග‍්‍රාමාත්‍යවරයා විසින් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කරනු ලැබුවා. එම වාර්තාව අද (21) දිනය වනවිට ලබාදිය යුතු බවටයි දන්වා තිබුණේ. ඒ අනුව බොහෝ දුරට අද දිනයේ මෙම වාර්තාව අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදීමට හැකිවනු ඇති බව එම කමිටුවේ සභාපතිවරයාද වන ආචාර්ය සෙනරත් දිසානායක විශ්වාසය පළ කළා.

කෙසේවෙතත් වයඹ පළාත් ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ත හිිමියන් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් දමා පරීක්‍ෂණයක් සිදුකිරීම පමණක් කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවයි. 

එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී පෙන්වා දුන්නේ "මෙම සිද්ධියට අවසන් වශයෙන් වගකිව යුත්තේ 03 වැනි පරාක්‍රමබාහු රජතුමා වුවද විය හැකියි. මහා මාර්ගය අවහිර කරමින් රාජසභාවක් ඉදිකිරීම වෙනුවෙන් නඩු දායි ද කියලත් මම දන් නෑ." යනුවෙනි.

කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත්දා අවධාරණය කළේ කුරුණෑගල නගරයේ පෞරාණික නටඹුන් විනාශ කිරීමට සම්බන්ධ සියළු දෙනාට තරාතිරම නොබලා නිත්‍යානුකූලව කටයුතු කරන බවයි.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනතින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් වනවා. මෙහි කොටසක් කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කරනු ලැබ තිබුණේ ඉකුත් ජූලි 14 වනදා රාත‍්‍රියේයි.