Sunday, May 5, 2024

General line - 0115112241

අලුයම් කාලයේ යතුරුපැදි තරගයක් පවත්වමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට




පිළියන්දල - කැස්බෑව යා කෙරන ජාලියගොඩ මාර්ගයේ අනතුරුදායක ලෙස යතුරු පැදි ධාවන තරගයක් සංවිධාන කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆේස්බුක් හරහා හඳුනාගත් කණ්ඩායමක් විසින් මෙම යතුරු පැදි ධාවන තරගය සංවිධාන කර ඇති බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව එම ධාවන තරගයට එක්ව සිටි පුද්ගලයින් 39 දෙනෙකු සහ ඔවුන් සතුව තිබූ යතුරු පැදි 24 ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් පිරිස පිළියන්දල - කැස්බෑව යා කෙරන ජාලියගොඩ මාර්ගයේ යතුරු පැදි ධාවනයේ යෙදෙන බවට අද (26) අලූයම 02.00 ට පමණ 119 හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව එම ස්ථානයට පැමිණි පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. මීට මාස කිහිපයකට පෙරදී ද මෙලෙස යතුරුපැදි ධාවන තරගයක නිරත වූ පූද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.