Tuesday, April 30, 2024

General line - 0115112241

සිරගතව සිටින කාන්තා රැඳවියන්ගේ දරුවන් 46 දෙනෙකු සම්බන්ධයෙන් අගමැතිගේ අවධානය




මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර තුළ සිටීමට සිදුව ඇති පුවතක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
 
මෙම පුවත පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී ඇත.
 
ගැබිනියන් වශයෙන් සිටින අතරතුරදී හා අලුත උපන් දරුවන් සිටින අතරතුරදී බන්ධනාගාර ගත වූ මව්වරුන්ගේ අවුරුදු පහට අඩු වයසේ පසුවන මෙම දරුවන් 46 දෙනා අධිකරණ නියෝග මත මේ වන විට මව්වරුන් භාරයේ රඳවා තබා ඇත.
 
අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව මෙම දරුවන් පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අදහස් දක්වා සිටියා.
 
එහිදී අමාත්‍යවරිය සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සියලු තොරතුරු රැස් කරමින් පවතින බවයි. 

එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ නෛතිකමය පසුබිම හා  ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේදී  කඩිනමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව දැනුම්වත් කරන බව ද ඇය ප්‍රකාශකර සිටියා.
 
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනමින් තොරතුරු රැස් කරමින් පවතින අතර එම මව්වරුන්ගෙන් බහුතරයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අය බවයි. 

ඊට අදාළ තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හට ලබා දෙන බවයි බන්ධනාගාර කොමසාරි තුෂාර උපුල්දෙනිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.