Sunday, May 5, 2024

General line - 0115112241

චීන කොරෝනා එන්නත පනස්දහසකට - රුසියානු එන්නතේ තත්ත්වය ගැන වාර්තාවත් පිට වෙයි




චීනය නිපදවූ නව්‍ය කොරෝනා වෛරස එන්නතේ තුන්වන අදියරයේ පරීක්ෂණ සඳහා රටවල් 10 ක පුද්ගලයින් 50,000 ක් සහභාගී කරවා ගැනීමට නියමිතව තිබෙනවා.

චීනයේ ජාතික ජෛව විද්‍යා සමූහය ප‍්‍රකාශ කළේ සර්බියාව, පාකිස්ථානය, තුර්කිය සහ බංගලාදේශය, එම අත්හදාබැලීම් සඳහා අළුතින්ම එක්වූ රටවල් බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පේරු, මොරොක්කෝව, බහරේනය, ආර්ජන්ටිනාව සහ ජෝර්දානය යන රටවල් මීට පෙර සිටම චීනය හඳුන්වාදුන් කොරෝනා එන්නතේ අත්හදාබැලීම් සඳහා එක්ව සිටියා.

එම එන්නතේ නිෂ්පාදන ක‍්‍රමවේදයන් වැඩි කිරීමෙන් පසු වසරකට එන්නත් මාත‍්‍රා මිලියන 500 ක් පමණ නිපදවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, රුසියාව විසින් නිපදවූ ස්පුට්නික් වී හෙවත් නව්‍ය කොරෝනා එන්නතෙහි පළමු වාර්තාව ඊයේ ප‍්‍රකාශයට පත් කළා. එන්නත අත්හදා බැලීමට සහභාගී වූ සියළුදෙනා වෛරසයට එරෙහි ප‍්‍රතිදේහ නිපදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් සියළුදෙනා තුළ නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි ප‍්‍රතිශක්තිකරණයක් පෙන්නුම් කරන බව ද රුසියානු විද්‍යාඥයින් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම, හිසරදය සහ සන්ධි වේදනාව හැරුණුකොට එම පුද්ගලයින්ට බරපතළ අතුරු ආබාධ ද නොමැති බවයි රුසියාවේ ලැන්සෙට් වෛද්‍ය සඟරාව පවසන්නේ.