Sunday, May 5, 2024

General line - 0115112241

අප්‍රිකාවේ නව වෛරසයක් ඇතිවීමේ තර්ජනයක්




අප්‍රිකානු වැසි වනාන්තර ආශ්‍රිතව නව වෛරස් ප්‍රභේද ඇතිවෙමින් පවතින බවත් එමගින් නුදුරු අනාගතයේදී එය ලෝකවාසී ප්‍රජාවට දැඩි තර්ජනයක් ගෙන එනු ඇති බවට 1976 වර්ෂයේදී පළමු වරට ඉබෝලා වෛරසය සොයා ගැනීමට ඉවහල් වූ මහාචාර්ය Jean-Jacques Muyembe Tamfum අනතුරු අඟවා සිටිනවා.

" අපි දැන් සිටින්නේ නව රෝගකාරක බීජ පිටවන ලෝකයක. එය මනුෂ්‍යත්වයට තර්ජනයක්" තම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටියා.

මහාචාර්ය Jean-Jacques Muyembe Tamfum පවසන ආකාරයට ඉදිරියේදී ඇතිවිය හැකි වෛරසයන් මේ වන විට ගෝලීයව ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණ වේගයට වඩා වේගවත් ව්‍යාප්තියක් සහිත වෛරස් ප්‍රභවයක් විය හැකි බවයි.

අප්‍රිකානු රටක් වන කොංගෝ ජනරජයේ පිහිටි ඉන්ජෙන්ඩේ නම් ප්‍රාන්තයේ නම හෙළි නොකළ රෝගියෙකුට රක්තපාත උණ රෝගයෙන් පෙලීම හේතුවෙන් රෝහල් ගත කොට ඇති බවත් වෛද්‍යවරුන් එම රෝගියාගේ රුධිර සාම්පල් ඉබෝලා පරීක්ෂණය සිදුකලත් එහි ප්‍රථිපල ධනාත්මක නොවූ බවත් මෙය නව වෛරසයක ආරම්භයක් ද යන ගැටලුව උද්ගතවී ඇති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

නව රෝගී තත්ත්වය පෙන්නුම් කරනු ලබන රෝගියා කාන්තාවක් වන අතර ඇයගේ දරුවන් ද ඉබෝලා පරීක්ෂණයට ලක් කර සිටියත් ඔවුන්ගේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙය නව වෛරස ව්‍යප්තියක ආරම්භයක් ද යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරුන් මෙන්ම විද්‍යාඥයින් සැකපළ කරමින් සිටියි.

වසංගත රෝග සම්බන්ධයෙන් පසුගියදා පැවති ගෝලීය සමුළුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම හඳුනා නොගත් නව වෛරස ('Disease X') සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී මෙවැනි වෛරස් ප්‍රභවයන් ඇතිවීම සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි.

මේ අතර සිංගප්පුරුවේ විද්‍යාඥයින් පිරිසක් විසින් ඉදිරියේදී ඇතිවිය භයානක වෛරස් ප්‍රභවයන් සම්බන්ධයෙන් ලබාදිය හැකි ප්‍රතිශක්ති කරණ එන්නත් සම්බන්ධයෙන් කල්තියා සුදානම් වීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බව ද විදෙස් වෙබ් අඩවිය කිහිපයක් කරුණු වාර්තා කර සිටියා.