Monday, April 29, 2024

General line - 0115112241

පාපැදි පදිමින් සිටි දරුවෙකු සපා කෑමේ සිද්ධියක් දුර දිග ගිහින් නිවසේ බැද සිටි සුනඛයාව වෙඩි තබා මරා දමයි 

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ගල්කිරියාගම, දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් පිටුපස කූඩුවක බැඳ සිටි සුනඛයෙකුට වෙඩි තබා මරා දැමූ පුද්ගලයෙකු සොයා ගල්කිරියාගම පොලිසිය අද දින විමර්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

ගල්කිරියාගම, දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ කුඩා දරුවන් පිරිසක් පාපැදි පදිමින්  සිටියදී සුනඛයෙකු එහි හැපි ඇති අතර පසුව එම සුනඛයා පාපැදිය පදිමින් සිටි දරුවෙකු සපා කා තිබෙනවා.

පසුව මෙම සුනඛයාගේ අයිතිකරු එම දරුවා රැගෙන සපා කෑ ස්ථානය සෝදා පවිත්‍ර කොට අදාළ නිවසට ගොස් විස්තරය පවසා දරුවා භාරදී පැමිණ ජලභීතිකාව සඳහා සුනඛයාට එන්නත් කොට ඇති නිසා එම කාඩ්පත් ද සොයා තබා සුනඛයා කූඩුවට දමා බැඳ  දමා තිබෙනවා.

පසුව රාත්‍රී 11.30 ට පමණ කූඩුවේ සිටි සුනඛයා බුරන ශබ්දය ඇසි එම සුනඛයාගේ සිටි නිවසේ හිමිකාරිය ජනේලයෙන් බලන විට පුද්ගලයෙකු ගිනි අවියක් රැගෙන මෙම සුනඛයාට වෙඩි තබන අයුරු දැක තිබෙනවා.

මෙසේ වෙඩි තැබූවේ පෙරදින සිය නිවසේ ඇති කරන සුනඛයා සපා කෑ දරුවාගේ පියා බව හඳුනාගත් බවයි ඇය විසින් පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ.

පසුව සුනඛයා වෙඩි තබා මැරූ පුද්ගලයාගේ බිරිඳ මෙම නිවසට අද දින අලුයම පැමිණ වෙඩි තැබූ ස්ථානයේ වැටී තිබූ උණ්ඩ කිහිපයක් අහුලාගෙන බල්ලාගේ මළසිරුර රැගෙන දිව යද්දී ගෙහිමියන් විසින් එය වළක්වා තිබෙනවා.

පසුව ඇය පාපොච්චාරණය කොට ඇත්තේ මෙය පොලිසි වලට නොගොස් ගොඩින් බේරා ගැනීම සඳහා සහාය දෙන ලෙසයි.

කෙසේ වෙතත් නිවෙස් හිමියන් විසින් ගල්කිරියාගම පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරීන් එම වෙඩි තැබූ ස්ථානයට පැමිණ එහි වැටී තිබූ තවත් උන්ඩ කීපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

සුනඛයාට වෙඩි තැබූ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ගිනි අවිය සහ පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායමක් ගල්කිරියාගම ප්‍රදේශයට පිටත් කළ බවයි ගල්කිරියාගම පොලිසිය සඳහන් කර සිටියේ.

සුනඛයා ගේ ඝාතනය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් සිදුකරන බවද පොලිසිය සඳහන් කර සිටියා.