Sunday, May 5, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සහ එජාපයේ සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි




ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරුන් දෙදෙනාගේ සේවය වහාම කි‍්‍රයාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති සහ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිනි විමලසේනගේ සේවය තමන්ට පැවරී ඇති බලතල ප‍්‍රකාරව අත්හිටවූ බවයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිිරි කොබ්බෑකඩුව නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයාගේ කාර්ය ඉටු කිරීමට හා එහි බලතල කි‍්‍රයාත්මක කිරීමට එම නගර සභාවේ උප සභාපති දිනේෂ මධුසංඛ වෙත නියෝග කර තිබෙනවා. බලංගොඩ නගර සභාවේ සභාපතිවරයාගේ  කාර්ය ඉටු කිරීමට හා එහි බලතල කි‍්‍රයාත්මක කිරීමට නියෝග කර ඇත්තේ එහි උපසභාපති තාහීර් මොහොමඞ් රූමිටයි. ඔවුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු රෝහන අරුණ කුමාර පත් කර තිබෙනවා. 

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අතර බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිනි විමලසේන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා.