Saturday, May 4, 2024

General line - 0115112241

විරෝධතා මඩින්න ඉන්දියාව අන්තර්ජාල සේවා කපා දමයි




ඉන්දියාවේ අගනුවර වන දිල්ලිය ඇතුලු ඒ ආශ්‍රීත ප්‍රධන නගර කිහිපයක අන්තර්ජාල සේවා කපා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ, දිනෙන් දින වර්ධනය වන ගොවි විරෝධතා මුල් කර ගනිමින්. නව කෘෂිකාර්මික නීතිවලට විරෝධය පළ කරමින් ගොවීන් මේ වන විට දිල්ලි නුවර උපවාසයක්ද ආරම්භ කර තිබෙනවා. ඉන්දීය රජය පවසන්නේ මහජන ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා මෙලෙස අන්තර්ජාල සබඳතා කපා දැමූ බවයි.

ඉන්දියාවේ ආරම්භ වූ ගොවි විරෝධාතාවට මේ වන විට ලක්ෂ සංඛ්‍යාත ගොවීන් පිරිසක් එක්ව සිටිනවා. ඔවුන් විරෝධතාවල නිරත වන්නේ දිල්ලි නුවරට ආසන්නවයි. වෘත්තීය සමිති සහ රජය අතර පැවති සාකච්ඡාද බිඳ වැටී තිබෙනවා. අවස්ථා කිහිපයකදී ප්‍රචණ්ඩ වූ මෙම විරෝධතා හේතුවෙන් ගොවීන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් රැසක්ම තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

නව කෘෂිකර්මික නීති මගින් ඉන්දියාවේ වසර ගණනාවක් පැරණි ගොවි නිෂ්පාදන සඳහා සහතික මිලක් නියම කිරීමේ ක්‍රමවේදයට බලපෑම් එල්ලවන බවයි ගොවීන් පවසන්නේ. ගොවින් සතු මිල තීරණය කිරීමේ බලය පුද්ගලික සමාගම් අතට මේ හරහා පත්වන බවටද ඔවුන් අනතුරු අගවනවා. 

දශක ගණනාවක් පූරා ඉන්දියාවේ ගොවි නිෂ්පාදන නිදහස් වෙළද පොළෙන් ආරක්ෂා කර තිබු අතර මිල තීරණය කිරීමේ බලය ගොවීන් සතු වුණා. ඉන්දිය රජය දැන් සූදානම්වන්නේ ගොවි නිෂ්පාදන විකිනීම, මිල තීරණය කිරීම හා ගබඩා කිරීම පිළිබඳ පවතින නීති රීති ලිහිල් කිරීමටයි.