Sunday, May 5, 2024

General line - 0115112241

මියන්මාරයේ අවුන්සාන් සුකී යලි හමුදා අත්අඩංගුවට




මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී එරට හමුදාව විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය අද මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ පක්ෂයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින්. 

ඔහු පවසා ඇත්තේ මියන්මාර හමුදා විසින් අවුන්සාන් සුකි සිය භාරයේ තබාගෙන සිටින බවයි. මෙම තත්ත්වය මතුවුයේ වත්මන් සිවිල් පරිපාලනය හා හමුදාව අතර යළි උණුසුම් තත්ත්වයක් මතුව ඇති පසුබිමක් තුළ වීම විශේෂත්වයක්. හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද යළිත් වරක් කතා බහක්ද මතුව තිබෙනවා. 

ඉකුත් දා පැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකී නායකත්වය ධරන මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් හිමි වුණා. එහෙත් හමුදාව පවසන්නේ මැතිවරණය වංචනික බවයි. අද දිනයේ සිදු කිරිමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමද කල් දමන ලෙසටද එරට හමුදාව දිගින් දිගටම අවුන්සාන් සුකීගේ පක්ෂයට ඉල්ලීම් ඉදිරිපත් කළා. 

මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ ඇය මියන්මාර හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම අදහස් දැක්වූ ප්‍රධාන චරිතයක්. මේ හේතුවෙන් ඇයට 1989 වසරේ සිට 2010 දක්වා වසර 15ක කාලයක් නිවාස අඩස්සියේ සිටීමට සිදුු වුණා. 
කෙසේවෙතත් 1991 වර්ෂයේදී ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමිවුණේ නිවාස අඩස්සියේ සිටියේදීමයි. ඒ, මානව හිමිකම් සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ හඬනැගීම හේතුවෙන්. 

පසුව 2015 වසරේ නොවැම්බර් මස පැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකිගේ NLD පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළා. එහෙත් කෙතරම් විශාල ජයක් ඇයට හිමි වුවද, මේ වන විට 75 වියේ පසුවන අවුන්සාන් සුකීට මියන්මාරයේ ජනාධිපති විමට අවස්ථාව හිමි වී නැහැ. ඒ, ඇයගේ පුතුන් දෙදෙනා බ්‍රිතාන්‍යය පුරවැසියන් වීම හේතුවෙන් එරට ව්‍යාවස්ථාවෙන් පැනවී ඇති බාධාව හේතුවෙන්.