Tuesday, April 30, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම කල්දැමේ ; ගම්පහ - කළුතර පාසැල් ලබන 15 සිට විවෘත වන ලකුණු




2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. ඒ, කඩියම් ලකුණු ඉහල දමා ඇති බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින්. 

2020 ශීෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ඉහල දැමීමෙන් සිසුන්ට සිදුවන අසාධාරණය මෙන්ම එලෙස කඩයිම් ලකූණු ඉහල යාමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද නෙත් නිවුස් දිගින් දිගටම තොරතුරු අනාවරණය කළා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ ශීෂ්‍යත්ව විභාගයෙන් පාසල්වලට ඇතුළත් කර ගන්නා ශීෂ්‍ය සංඛ්‍යාව ඉහල නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස බලකරමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් ද පැවැත්වුණා. පසුව ඔවුන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර එහිදී පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන්තාවයක්ද ඇති වු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මේ අතර ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල තෝරාගත් පාසල් පෙබරවාරි මස 15 වන දින විවෘත කිරීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අද ප්‍රකාශ කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂිත බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල තෝරාගත් පාසල් විවෘත කිරීමේදී දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් සැපයිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවයි අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.