Wednesday, May 1, 2024

General line - 0115112241

වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කෙරෙන වාරි සෞභාග්‍යා වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි




කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම  “වාරි උමගේ” ඉදිකිරීම් අද පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ එම උමග ඉදි කෙරෙනවා.  මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙසයි උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ. 

මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ අරමුණයි. එය පරිසර හිතකාමී සංවර්ධන වැඩසටහනක් ලෙස සැලසුම් කර තිබෙනවා. මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවල අතිරික්ත ජලය කි.මි 65ක ඇල මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙන යාමට අපේක්ෂිතයි.

ඇල මාර්ගය සැකසීමේ දී අභය භූමි 03ක් පසුකර යාමට සිදු වනවා. එහිදී පරිසරයට සහ වන සතුන්ට වන හානිය වළකනු  පිණිසයි වාරි උමග ඉදි කෙරෙන්නේ. ඇලහැර කෝඳුරුවැවෙන් ආරම්භ වන උමග පලුගස්වැව මහමීගස්වැවෙන් අවසන් වනවා. වසර 06කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය වසර 04 කදී එනම් 2025  වන විට අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රි ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා  වැය කෙරෙන මුදල අමරිකානු ඩොලර් මිලියන 244 ක්. උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ දරිද්‍රතාවට සහ වකුගඩු රෝගයට ජල ගැටළුව ප්‍රබල සාධකයක් වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසෙන අතර කුඩා වැව් 1200කට ජලය සැපයීමෙන් හෙක්ටයාර 43,000ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීමට අපේක්ෂිතයි.

“වාරි සෞභාග්‍යයා” උතුරු මැද පළාත් මහ ඇල වාරි උමගේ ඉදිකිරීම් සමාරම්භක උත්සවය පැවැත්වුණේ අනුරාධපුර, මහමීගස්වැව ප්‍රදේශයේදීයි.