Saturday, May 4, 2024

General line - 0115112241

සෞදි ගුවන් තොටුපොළකට ප්‍රහාරයක් : ගුවන් යානයක් ගිනි ගනියි




යේමනයේ හුදී කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබියේ අබා ගුවන් තොටුපොළේ පිහිටි ගුවන් යානයක ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ප්‍රහාරය නිසා ගින්න හටගත් ගුවන් යානයේ ගින්න පාලනය කිරීමට මේ වන විට ගිනි නිවීමේ ඒකකයන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සිවිල් වැසියන් සහ එම යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් හුදී කැරලිකරුවන් විසින් සිදුකරනු ලබන මෙම ප්‍රහාරයන් යුද අපරාධ ලෙස සැලකෙන බවයි සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ අරාබි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් හුදී කැරලිකරුවන් එල්ල කරනු ලබන ප්‍රහාරයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානා මගින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ දක්වා නිල නිවේදනයක් සෞදි බලධාරීන් විසින් මේ දක්වා නිකුත් කර නැහැ.

පසුගිය දින කිහිපය තුල අවස්ථා තුනකදී හුදී කැරලිකරුවන් විසින් ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත්විය.