Monday, May 6, 2024

General line - 0115112241

මුරලි ඇතුළු පිරිසකගේ පෙත්සමක් නිසා ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් ආයතනයට මාර්තු 15 වෙනිදා අධිකරණය හමුවේ පෙනී ඉන්නැයි නොතීසි 




මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ගොනුකළ රිට් පෙත්සමට අදාළව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ විධායක කමිටුවට මාර්තු 15 වැනිදා අභියාචානාධිකරණයේ පෙනී සිටින්නැයි අද නොතීසි නිකුත් කෙරුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා භාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බවට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු පාර්ශවකරුවන් 12 දෙනෙකු අභියාචානාධිකරණයේ ගොනුකර ඇති මෙම රිට් පෙත්සමෙන් පෙන්වා දෙනු ලබනවා.

මීළඟ නිලවරණයට පෙර මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා නීතිමය වෙනස්කම් සිදුවිය යුතු බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙන අතර ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පර්ශවකරුවන්ට නියෝග කරන ලෙසයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.