Monday, May 6, 2024

General line - 0115112241

පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ගෙන් දස්කම් : චන්දිමාල් 149, මැතිව්ස් 121




බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගීවූ එක්දින තරගයක් කොළඹ සී.සී.සී. පිටියේ දී ඊයේ පැවැත්වුණා. පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙණුනු එම තරඟය නිමාවට පත් වුණේ විසඳුමකින් තොරවයි. එම තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 149 ක් ලබා ගත්තා.

දසුන් ශානකගේ කණ්ඩායම නියෝජනය කල චන්දිමාල්ගේ ඉණිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් ඇතුලත් වුණා. වනිඳු හසරංග සහ නායක දසුන් ශානක අර්ධ ශතක වාර්තා කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය ලබාදුන්නා. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 කට ලකුණු 321 ක් රුස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 121 ක් රුස් කලා. පන්දු 128 කට මුහුණ දුන් මැතිව්ස් හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සිය ඉනිමට ඇතුළත් කලා. ඕෂද ප්‍රනාන්දු හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 71 කදී ලකුණු 57 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී තරගයට මන්දාලෝකය හරස්වීම මත 45 වැනි පන්දුවාරයේදී තරගය නිමා කරන විට දිමුත් කරුණාරත්නගේ පිල කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් රැස් කිරීමට සමත් වුණා.